Quantcast
Channel: සොඳුරු සුව අසපුව
Viewing all articles
Browse latest Browse all 245

124) කිති කවනා , හිරි දුවනා අමුතු වින්දනේ ...

$
0
0
“අම්මේ , මේ නංගී .............“ ....ලොකු මොකක් හරි කියන්න ගිහින් නවත්ත ගත්තා ...
“මොකද වෙලා තියෙන්නේ , අක්කට ගැහැවුවද  ...ආ ...“  අම්ම එතනට යන්න ඉස්සර වෙලා මම ගියේ වැඩේ ගොඩින් සමාදාන කරල බේරුමක් කරල දෙන්න බලාගෙන ...

ලොක්කී අත අල්ල ගෙන ඇඹරෙනවා ...පොඩ්ඩි බිම බලාගත් ගමන් ..කාටවත් කරදරයක් නැහැ වගේ ...
“මොකද වුනේ ..? .., ...“ ..
“මෙයා , මේ ස්ටික් එකෙන් වැලමිටට ගැහුවා ...දැන් අත පණ නෑ වගේ ...අත නිකං පිච්චිලා වගේ ගියේ ...“ 
“පොඩී .....“ .....
“ හා ..මං එයාට හයියෙන් ගැහුවේ නැහැ ..මගේ මැජික් ස්ටික් එකෙන් තට්ටු කළා විතරයි ...“ ...පොඩීට කඳුළු ඇවිත් ...කොච්චර රංඩු වුනත් අක්කට රිදුනු බව දැනුනම කෙල්ලට දුකයි ..
“බය වෙන්න එපා ලොකු ...හිරි වැටෙන්න ඇති ...ටිකක් තදට පාර වදින්න ඇති nerve එක උඩටම ..ඒකයි අමාරු ...ටිකක් වෙලා යනකොට හරියාවි ....ඉතිං ඔයා ඩ්‍රැකියුලා නේ ...ඔය දත් දෙකෙන් ඇල්ලුව නම් , මේ මන්තරකාරි උඩ යාවි ......“ ....දෙන්නටම හිනා ..යුද්දේ සාමදානයි ....

අද Halloween day  නිසා , විවිධ වෙනස් ඇඳුම් වලින් සැරසෙමින් , මතුවන භූතයන් , හිම කුමාරියන් , ස්පාර්ටකස්ල අතරේ අපේ පොඩ්ඩො දෙන්නත් , 
මේ අපේ  හැලෝවීන් අමුත්තෝ 
ඩ්‍රැකියුලා කෙනෙකුයි , මන්තරකාරියෙකුයි වෙලා ..ආගමික පසුබිමක් තිබුණත් මේ හැලොවින් දිනයට ...එය ඇත්තෙන්ම සුන්දර , සැහැල්ලු දවසක් ...වැඩිහිට , තරුණ මහළු , පොඩි දරුවෝ , රාජකාරි ආයතන වල නිලධාරි...හැම කෙනෙක්ම “වෙනස් වෙලා “ ....අමුතු ඇඳුම් ඇඳගෙන , සතුටක් ලබන දවස .....විශේෂයෙන්ම පොඩ්ඩන්ට නම් සතුට වැඩිම දවස ..මොකද තව ටිකකින් යන Trick or treat චාරිකාවෙන් පස්සෙ එකතු වෙන චොකලට් , ටොෆි මලු ටික , එයාලට කාළෙකට ඇති ...මුලින්ම trick or treat චාරිකාව ගියේ අපට හුඟක්ම හිතවත් පවුලක දරුවො පිරිසක් එක්ක ...වැස්ස නිසා “පොඩි රවුමක් “ දාල ටොෆි චොකලට් මල්ලක් අරන් ආපු අපේ දෙන්නට , තව ඇවිදින්න ඕන ...සීතල ..වැස්ස ...අද නම් කාටවත් අමාරුවක් නැහ වගේ ....

“ඔයා එන්න ඕන නැහැ , ඔයා  පාරේ කෙළවරේම නවත්තගෙන ඉන්න , අපි ඇවිදල එතනට එන්නම් ....“ ...පොඩ්ඩො දෙන්නත් එක්ක මෙන්න අම්මත් යනව trick or treat එකේ ....මුළු පාරම වැහෙන තරමට පොඩ්ඩො ,ලොක්කෝ , අම්මල , තාත්තල ...හැමෝම හරිම සතුටින් ගෙයින් ගෙට යනවා ..trick or treat '''? ...හැම ගෙදරකින්ම වගේ ටොෆි , චොකලට් , අත පිරෙන්න හම්බ වෙනවා ...

අපේ කට්ටියට යන්න දීලා, මම ෂීට් එකත් ඇඳ ගෙන පොඩ්ඩක් ඇල වෙලා , සනීපෙට ඉඳගෙන වටේ සෙල්ලම් බලන අතරෙ , මං ඉස්සරහින්ම ගියා මහ භයානක මන්තරකාරියක් ...අර මන්තර කොස්සත් අරගෙනම ..මට හිතුන විදියට අම්ම කෙනක් හරි පුංචි අම්ම කෙනෙක් හරි , තව භූත පැටවු හතර පස් දෙනෙකුත් අරගෙන යන මේ අය දැක්කම මට මතක් වුනේ , අපේ මන්තරකාරි අක්කට කළ දේ ...ඒ එක්කම මතක් වුනේ ලියන්න දෙයක් ...“හිරිවැටීම ගැන“ ..අපි ඒ තරම් නොහිතන , නමුත් සමහර විට මරණීය තත්ත්වයක පෙර නිමිති කියන්නට වුනත් හේතු වෙන “හිරි වැටීම“ ගැන තමයි අද අපේ කතාව ..

අපි හැමෝම මේ හිරිවැටීම කියන සිද්ධියට මුහුණ දීල තියෙනවා , විශේෂයෙන්ම පොඩිකාළේ වැළමිට ගාවට පොඩි තට්ටුවක් දාල “කරන්ට්“ වද්දන්න හැට තාම මතකයි වගේ . ඒ විතරක්යැ , එක දිගට වාඩි වෙලා හිටියම කකුල් හිරි වැටිල විඳවපු වාර ගණන මතකයක් නැති තරම් ..තව .....පොඩි කාළෙ එක දිගට ඉකිගහ ගහ අඬපු වෙලාවක් මතක් කරගත්තම මූණ කට හිරිවැටිල , පාලනයක් නැතිව යනව වගේ වෙනම මතක නම් ඒකත් මීටම සම්බන්ධ තවත් අවස්ථාවක් තමා . මේ හැම අවස්ථාවක්ම නම් කරන්නේ Paresthesia එහෙම නැත්නම් පරාවින්දනය කියල ..මේ ගැන දිග කතාවට යන්න ඉස්සර , මේ වින්දනේට හේතු සාධක වෙන්න පුළුවන් සිදුවීම ගැන පොඩ්ඩක් කතා කරල ඉමු . ...

මේ ගැන කත කරත්දි මුලින්ම කතා කරල ඉන්න ඕනි ස්නායු සංවේදන ගමන් කරන හැටි , මොකද ඒ සංසිද්ධිය තමයි “වින්දනේට“ ප්‍රධාන හේතු කාරකය වන්නේ .

අපි දැනටමත් දන්නව අපේ ස්නායු පද්ධතිය හැදිල තියෙන්නේ , ප්‍රධාන කොටස් දෙකකින් , එකක් මොළය Brain  සහ සුෂුම්නාව Spinal cord ඇතුළු වන Central Nervous system , අනෙක තමයි ඉන් බාහිරව මුළු දේහය පුරාම විහිදිලා තියෙන ස්නායු සහ ඒවායේ අනුබද්ධ ඒකක සියල්ල එක්ව ගත් Peripheral nervous system කියන්නේ ..දැන් ඉතින් කළබල වෙන්න එපා මුළු ජීව විද්‍යාව පන්තියම කරන්න හදනවා කියල ..අපි මෙයින් අපේ කතාවට හුඟක්ම වැදගත් වෙන කට්ටිය ගැන විතරක් කතා කරමු , අනෙක් කාරණා තවත් ලිපි වලිදි ටිකෙන් ටික කතා කරන්න බැරියැ ...

අද කතාවට වඩාත් වැදගත් අය තමා sensory nerves (සංවේදක ස්නායු) , සහ Central nervous system  (C.N.S) කියන දෙක ..

මොනවද මේ සංවේදක ස්නායු කියන්නේ , මේව හරියට ඇඟ ඇතුලේ තියෙන ටෙලිෆෝන් වයර් වගේ තමා , අපේ පංචේනද්‍රියෙන් ලැබෙන විවිධාකාර පණිවිඩ , ඒ කීවේ සීතල  , උණූසුම , පීඩනය  වගේ සංවේදන මොළයට හරි සුෂූම්නාවට හරි ගෙන යන එක තමා මෙයාලගේ මූලික රාජකාරිය ...අපි හිතමු , අපේ ඇඟිල්ලක කටුවක් ඇනෙනව කියල ..මේ සිද්ධියට මැදිහත් වන සංවේදී ස්නායුව මේ අසාමාන්‍ය “තෙරපීම“ ගැන පණිවිය ඉක්මණින් C.N.S වෙතට යවනවා . එතකොට C.N.S එක තමයි මේක “ඇනෙන වේදනාවක්“ විදියට හඳුනගන්නේ ..මෙහෙම ලේසියට කීවට මේ වැඩේ ටිකක් සංකීර්ණ කටයුත්තක් , ඒ ගැන ටිකක් තේරුම් ගන්න පුළුවන් විදියට මෙහෙම කියන්නම්කෝ..


පණිවිඩ ගන්න ඔක්කොම Receptors ,ලා 
අපේ ඇහ ,කණ , නාසය , දිව , සම කියන ස්ථාන වල සංවේදන හඳුනාගන්නට පුළුවන් විශේෂ ස්නායු සෛල කණ්ඩායමක් ඉන්නවා , අපි එයාලට කියමු ස්නායු අග්‍ර Nerve endings , එහෙම නැත්නම් Receptors කියල , ඇත්තටම එයාල සංවේදක ස්නායු වර්ගයක් ..මේ සංවේදක ස්නායු ටෙලිෆෝන් කම්බියක් වගේ කීවට , තනි කම්බියක් විදියට දිගටම යන්නේ නැහැ , ඒව “එකිනෙකට නොගෑවෙන විදියට“  , මූට්ටු කරලා තියෙන්නේ . තව විදියකින් කීවොත් එක සංවේදක ස්නායු සෛලයක් අනෙක් එකත් එක්ක ගෑවෙන්නේ නැහැ , ඒත් කිසි කරදරයක් නැතිව මුල් ස්නායු සෛලයේ ඉඳල ඊළඟ එකට ..ඒ විදියට දිගටම අර මුලින් හිටපු Nerve endings වලින් හඳුනගත්ත පණිවිඩය(Impulse) දිගටම මේ සංවේදක ස්නායු ඔස්සේ , C.N.S වෙතට ගමන් කරනවා ...


ඒ ගමනත් හරිම ලස්සනයි . සෝඩියම් , පොටෑසියම් වගේ අයන වර්ග උදව්වෙන් “පොඩි කරන්ට් “ එකක් විදියට තමයි මේ පණිවිඩය ස්නායු සෛලය දිගේ යන්නේ , ඊළඟට මේ ස්නායු සෛලය ඉවර වෙන තැනදි , මේ විදුලිමය පණිවිඩය ,රසායනික දියරයක් Neurotransmitter  බවට පත් වෙමින් , රසායනික පණිවිඩයක් බවට පත්වෙනවා , දැන් මේ රසායනික පනිවිඩය ඊළඟ ස්නායුව අඳුනගත්තට පස්සේ ආයෙත් “විදුලිමය පණිවිඩයක්“ විදියට ඒ ස්නායු සෛලය දිගේ ගමන් කරමින් මොළය හෝ සුෂුම්නාව කියන ප්‍රධාන මධ්‍යස්ථාන කරා ගමන් කරනවා .
මෙන්න මේ වීඩියෝවෙන් ඒ ගැන විස්තර කෙරෙනවා
..


හරි ..මේ විදියට දුර ගෙවාගෙන මධ්‍යස්ථානයට නැත්නම් C.N.S වෙතට ආවම තමයි මේ ආපු පණිවිඩය මොකක්ද කියන එක හරියටම තේරුම් බේරුම් කරගන්න පුළුවන් වෙන්නේ ..ඒක පැණි රසක්ද , වේදනාවක්ද , පිළිස්සීමක්ද වගේ තීරණ ගන්නේ මේ මධ්‍ය ස්නායු පද්ධතියේ C.N.S  අය ...

දැන් මේ ඔක්කොම බයිලා කියන්නට වුනේ , අද අපි කතා කරන “කිති කැවෙන , හිරි දිවිල්ලට“ මේ හැම තැනක්ම බලපානව , ඒ කීවේ , අර කීව Receptors වලින් පණිවිඩ ලබා ගැනීමේ ගැටළුවක්  , නැත්නම් සංවේදක ස්නායු සෛල දිගේ පණිවිඩය ගලා යාමට ගැටළුවක් වුනොත් , නැත්නම් ඒ පණිවිඩය C.N.S එකේදි හඳුනගැනීමට බාධා වුනොත් මේ ඕනම තැනක ඇතිවන අසාමාන්‍ය තත්ත්වයකදි මේ Parenthesis තත්ත්වය එන්නට පුළුවන් . උදාහරණයක්  , මේ පණිවිඩ ගෙනියන ස්නායුවක් අසාමාන්‍ය විදියට තෙරපිමක් වුනා කියල ..අන්න එතකොට “හිරි වැටීමක් “ වෙන්න පුළුවන් ..අපි පුංචි කාළෙ වැළමිටට තට්ටුවක් දාල “කරන්ට්“ වද්ද ගනිත්දි සිද්ද වෙන්නේ මේ සිදුවීම .එහෙම නැත්නම් අපි හුඟ වෙලාවක් එකම විදියට වාඩි වෙලා හිටියම කකුල හිරි වැටෙන්නෙ මේ සිදුවීම නිසා ..



එහෙම නැත්නම් ඔය ඉකි ගහ ගහ අඬපු වෙලාවක් මතක් කරගන්නකෝ ...මතකද අපිට ඇඬිල්ල නවත්ත ගන්න ඕන වුනත් “අපේ කට අඬන්නමයි “ හදන්නේ ....මතකද අපේ තොල් නිකම්ම ඇද වෙලා , කට හිරි වැටිල වගේ යනවා ..අන්න ඒත් මේ Paresthesia  තත්ත්වයම තමයි , අපි අසාමාන්‍ය විදියට බොහොම වේගෙන් හුස්ම ගැනීම පිට කිරීම කරන්න ගියොත් , එහෙම නැත්නම කළබල වෙලා හුස්ම ගැනීමේ වේගය වැඩි වුනත් මෙහෙම වෙන්න පුළුවන් ...ඒ තත්ත්වය තාවකාළිකයි , ආයෙත් සාමාන්‍ය විදියට හුස්ම ගන්න පටන් ගත්තම “කට දැඟලිල්ල“ ඉවරයි ..


ඔය වගේ සුළු වෙලාවකට , නැත්නම් එක අවස්ථාවක විතරක් ඇතිවුනාට මේක ලොකු ප්‍රශ්නයක් කියල අපි හිතන්නේ නැහැ (බොහාම හදිසි අවස්ථාවක , ඒ කීවේ මොළයේ ලේ කැටි හිරවීමක් වගේ අවස්ථාවක දි නම් එක අවස්ථාව වුනත් සැළකිළිමත් වෙන්නට වෙනවා )  , අපි සෞඛ්‍ය ගැටළුවක් කියල හඳුන්වන්නේ කාළයක් තිස්සේ ඇතිවන මේ “හිරි වැටීම් , කටු ඇනෙනව වගේ දැනීම් , “  ඒ කියන්නේ Chronic paresthesia ,

දැන් අපි කතා කරමු මොනවද මේ අසාමාන්‍ය තත්ත්වයන් ඇති කරන හේතු කියලා , 


මුලින්ම කතා කරමු දරුණුම ටික ....අපි හිතමු මොළයට ලේ ගෙනියන නහරයක , තෙල් බෝලයක් , හරි ලේ කැටියක් හරි හිරවුනා කියල(Stroke නැත්නම් Brain attack)  ..දැන් මොකද වෙන්නේ ..මොළයට ලේ සැපයුම නැතිව යනවා ..දැන් මොළයේ සෛල වලට කෑම බීම මුකුත් නොලැබෙන නිසා එයාල වැඩ කරන එක නවත්වනවා , දැන් අපිට දැනෙන්නේ “හිරිවැටීමක්“ විදියට ..මේ අවස්ථාවේ නම් එක පැත්තක අත , කකුළ , මුහුණ ..ඒ වගේ ලොකු පලාතක් “හිරිවැටෙන්නට “ පුළුවන් . කතා කරගන්න බැරිය , චවන හරියට කියැවෙන්නේ නැති වෙන්නත් පුළුවන් (Slurring of speech) මේක සමහර විට පොඩි ප්‍රෙද්ශයකට , ටික වෙලාවක් විතරක් බලපාන Transient Ischemic Attack (T.I.A) වෙන්නත් පුළුවන් , හැබැයි මේ අවස්ථාවේ නිසි ප්‍රතිකාර නොගත්තොත් නම් ඊළඟට ලේසි වෙන එකක් නැහැ , මොකද මේ T.I.A එකක් කියන්නේ , අංශභාගය වගේ ඇති කරන්නට පුළුවන් Brain attack එකක මුල් පෙරනිමිති බව දැනට හඳුනගෙන තිබෙනවා . ඒ නිසා ඔළුවෙ කැක්කුමක් එක්ක (නැතුව හරි) , අතක් , කකුළක්  පාළනය කරගන්න බැරි තරමටම  පණ නැතිවෙලා වගේ හිරි වැටීමක් වෙලා තිබෙනවා නම් , මේ එක්කම “කට පැත්තකට “ ඇද වෙලා වගේ නම් නිකංම බලන්න ඉන්න එපා , කාගෙ හරි උදව් ඇතිව , කළබල නැතිව ගිහින් ඔබේ වෛද්‍යවරයා හමුවෙන එක වැදගත් වේවි , ඒ අනාගතේදී අංශභාගය ඇති කරවන්නට පුළුවන් Brain attack එකක් ඇති වේදැයි විමසා බලා ගන්නටත් , ඉක්මණින් ඇති වී තත්ත්වයට ප්‍රතිකාර ගන්නටත් ..


තව කොහොමද මේ Paresthesia ඇති වෙන්නට පුළුවන් , හදිසි අනතුරක් නිසා මොළයට හෝ සුෂූම්නාවට තුවාල වුනොත් , ,නැත්නම් සමහර විට සුෂුම්නාවේ කොඳු ඇට අතරේ පරිස්සමට තියල තියෙන “කොට්ට වගේ“ කෑළි  ( Vertebral disk herniation)  එහා මෙහා වීම නිසාත් මධ්‍යස්ථානෙම ලෙඩ වෙන නිසා “හිරිවැටිල්ලක් “ ඇති වෙන්න පුළුවන් .විශේෂයෙන්ම හදිසි අනතුරකට පස්සේ මේ “හිරිවැටීම් “ දිගමට පවතිනවා නම් ටිකක් හොයල බලන්න වේවි ඒ අනතුරේදි හිස තුලට , නැත්නම් සුෂුම්නාවට අනතුරක් වෙලාද කියල    , මොකද ඒ තත්ත්වය විටෙක ජීවිතේට තර්ජනයක් වෙන්නත් පුළුවන් තරමේ අවදානමක් ...

මේ වගේම අස්ථි බිඳිම් , අස්ථි තෙරපීම් (විශේෂයෙන්ම ඔස්ටියෝපොරෝසිස්තත්ත්වයේදී , සහ වියපත් වීමෙදි ) නිසාත් , ඒ ළඟින් යන ස්නායු තෙරපීමෙන් මේ Paresthesia තත්ත්වය එන්නට පුළුවන් . 

ඊළඟට මේ “කිති කවනා හිරි දිවිල්ල“ එන්න පුළුවන් මොළයේ , නැත්නම් ස්නායු පද්ධතිය ආශ්‍රිත “ගෙඩි “ Tumors හැදුනාම , පිළිකාමය හෝ පිළිකාමය නොවන ඕනම විදියක ගෙඩියක් හැදුනම , මේ අසාමාන්‍ය ගෙඩිය නිසා ස්නායු , එම සෛල තෙරපෙනවා ..අන්න එතකොට තමයි මේ “කිතිය “ ...ඇති වෙන්නට පුළුවන්...ඒ ගෙඩි නිසා විතරක් නෙවි , අපි කතා කළකාපල් ටනල් සින්ඩ්‍රෝම්වලදිත් වෙන්නේ , මේ විදියට ස්නායුව තෙරපීමක් වෙන එක ..එතැනදිත් හිරි වැටීම් වෙන බව අපි කතා කළ මතකද කියල දන්නේ නම් නැහැ මම ...

මේ ලොකු දේවල් වගේම ලේ වල සාමාන්‍යෙයන් තිබෙන්නට ඕන අයන වර්ග , ඒ කීවේ සෝඩියම , පොටෑසියම් වගේ ...ඒව අඩු වුනාමත් ... තයිරොක්සින් හෝමෝන ප්‍රමාණය අඩු වුනාමත් , විටමින් බී ඌනතාවය නිසාත් “හිරිවැටීම්“ වෙන්නට පුළුවන් . ඒ වගේම මධ්‍යසාර භාවිතයත් ස්නායු කෙරේ බලපානව ..ඒක නිසාත් මේ “වින්දනේ “ ඇති වෙන්නට ඉඩ තිබෙනවා ..වැදගත්ම දේ ..මුලින් “වින්දනේ“ වගේ දැනුනට ..ටික කළකට පස්සේ “විඳවන්නටම“ හේතු වෙන්නත් පුළුවන් මේ පැරස්තීසාව ...

තව දේවල් තියෙනවා ....කාළයක් තිස්සේ දියවැඩියාව තිබේ නම් , විශේෂයෙන්ම නිසි ලෙසින් පාළනයක් නැතිව තිබෙනවා නම් ස්නායු වල  දුර්වලතාවයක් ඇති වෙනවා Diabetic Neuropathy ඒ වගේම අපි කතා කළ මල්ටිපල් ස්ක්ලෙරෝසීස් වගේ රෝග නිසාත් , වකුගඩුව , අක්මාව ආශ්‍රිත රෝග තත්ත්ව නිසාත් අද අපි කතා කරන තත්ත්වය ඇති වෙන්නට පුළුවන් ...

මේවාට අමතරව , මොළයේ හෝ සුෂුම්නාව ආශ්‍රිතව ඇති වන ආසාදන ප්‍රතිපලයක් විදියටත් මේ හිරිවැටිල්ල එන්නට පුළුවන් ..මේ විදියට කියාගෙන ගියාම මහ ලොකු හෑල්ලක් ලියන්නට පුළුවන් වේවි මේ ගැන ..දැනටමත් “හෑල්ලක් “ ...ලියැවිලාද මන්ද ..

දැන් අන්තිම කෑල්ල ......මේ එක් එක් අවස්ථාවෙදි පරික්ෂණ , ප්‍රතිකාර එකිනෙකට වෙනස් වේවි , පරික්ෂණ විදියට සාමාන්‍ය දේහ පරික්ෂාවක ඉඳළ , ලේ පරික්ෂණ, සීටී ස්කැන් , එම් ආර් අයි ස්කැන් වගේ දේවලුත් , ස්නායු වල පණිවිඩ ගමන් කරන හැටි හොයන Nerve conduction වගේ පරික්ෂණත් කරන්නට පුළුවන් , සමහර විට මයලොග්‍රෑම් කියන , ඩයි එකක් සුෂුම්නාව තුලට විදල කරන , පොඩි අපහසුතා ඇති පරික්ෂණයත් කරන්නට වේවි , ඒ සියල්ලගෙන් ලැබෙන තොරතුරු එක්ක මේ හිරිවැටීමට හේතු සාධකය හොයාගෙන , ඖෂධ මඟින් හෝ ශල්‍යකර්ම මඟින් විසඳීමක් ලබා දෙන්නට වෛද්‍යවරයා උත්සාහ කරාවි , ඒත් ඔබ මේ සියල්ලට යොමු වෙන්නේ හුඟක් පමා වෙලා නම් , ලැබෙන ප්‍රතිපලය සමහර විට එතරම් යහපත් නොවන්නටත් පුළුවන් . ඒ කීවේ සම්පුර්ණ සුවයක් නොලැබෙන්නටත් අවදානමක් තියෙනවා ...ඒ නිසා ආයෙත් කියන්නම් ..අර මුලින්කීව වගේ සාමාන්‍ය හේතු සාධකයක් නැතිව හිරි වැටීමක් වෙනවා නම් , දිගින් දිගටම වෙනවා නම් බලන් ඉන්න එපා ...ඉක්මණින් ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ..., සැකසංකා දුරු කරගන්න  ...එය ජීවිතයේ ඉදිරිය සතුටින් විඳන්නට අවස්ථාවක් ලබා දේවි ..

 ****සොඳුරු සුව අසපුවට මේ ලිපියක් එක්කරන්නේ ටිකක් ප්‍රමාද වෙලා ...මේ දවස් ටිකේ වෙනදට වඩා පොඩ්ඩක් අවිවේකී කාළ සමයක් තමයි ගෙවන්නේ ...අනෙක දැන් ඉතින් ශීත සෘතුව බලාගෙන , ඉර එළියත් අපෙන් ටිකක් ඈත් වෙලා , ඔරලෝසුවත් වෙනස් වෙලා ...ඉතින් ලිපියක් ලියන්නට වෙලාවක් හොයාගන්නට ටිකක් අමාරුයි වගේ ..කෙසේ වෙතත් මේ වගේ ප්‍රමාදයන් වුනත් සතියකට එක් ලිපියක් වත් එක් කරන අපේකෂාව තවමත් තිබෙනවා ...එහෙම නම් සමුගන්නවා ඔබේ නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් ...සැමට සුව සතුට පිරි දිනයක් ! 








Viewing all articles
Browse latest Browse all 245

Trending Articles