Quantcast
Channel: සොඳුරු සුව අසපුව
Viewing all articles
Browse latest Browse all 245

176 ) පන රැක ගන්නට පැන පැන යන්නේ !

$
0
0
අද පුවත් පත් කියවත්දි ගාල්ල ගිංතොට ප්‍රෙද්ශයේදි සිදුවූ අවාසනාවන්ත අනතුරක් ගැන කියවන්නට ලැබුණා. අධිබල විදුලි රැහැනක් වාහනයක් මතට කඩා වැටීමෙන් තිදෙනෙක් මිය ගිය බවයි එහි කියවුනේ.

සිදුවීම නිවැරදිවම නොදනිතත් , අට දෙනෙක් එම රිය තුල සිටි බවක් පුවත් පත් වල සටහන් ව තිබූ අතර , ඉන් තිදෙනෙක් මිය ගිය බවයි සඳහන් වුනේ .  මිය යාමට හේතුව අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා තීරණය කරාවි ඉක්මණින්ම . කෙසේ වෙතත් මෙවන් අනතුරු වලදි බහුලවම මිය යාම සිදුවන්නේ  ,විදුළි රැහැන ස්ඵර්ශ වූ රියෙන් බැස යාමට උත්සාහ කිරීමේදී . එයට හේතුව බිමට පය ස්ඵර්ශ වන මොහොතේ අදාල පුද්ගලයාගේ සිරුර රිය සමඟත් ගැටී තිබුණා නම් විදුලිය දේහය ඔස්සෙ ගමන් කර භූගත වන නිසා.

මෙවන් රිය අනතුරකට , එනම් රථය විදුලි කණුවක ගැටීම හෝ රිය මතට විදුලි රැහැනක් කඩා වැටීම කියන අවස්ථාවෙදි ඉතා ආරක්ෂාකාරීම වගේම  සැලසුමක් සහිතව ජීවිතය බේරා ගැනීමට කටයුතු කළ යුතුයි .

මෙහෙම හිතමු , ඔබ ගමන් කරන රථය මතට විදුලි රැහැනක් හෝ විදුලි රැහැනක් යැයි සැක කළ හැකි රැහැනක් කඩා වැටුනා  ... දැන් කළ යුත්තේ ?

  1. පළමුව ඔබට , රථයේ අනෙක් අය වෙත දරුණු අනතුරක් , හදිසි ආපදාවක් ඇති විය හැකි රැධිර වහනයක් , අස්ථී පුපුරා යාමක් වැනි තත්ත්වයක් ඇත්දැයි බලන්න . රියදුරාට එවැන්නක් කළ නොහැකි තත්ත්වයක නම් වෙනත් අයෙක් මේ පිළිබඳව විමසන්න .
  2. රථය ගිනි ගැනීමකට ලක්විය හැකි ලක්ෂණ , දුම් නැගීමක් , විදුලිය පුපුරැ නැගීමක් වේදැයි බලන්න 
  3. එවන් හදිසි තත්ත්වයක් දකින්නට  නැත්නම් රථය තුල සිටින ඔබ  , 
    1. කළබල නොවන්න  , රථය නැවත පිටු පසට හෝ ඉදිරියට ගනිමින් විදුලි රැහැනෙන් ගැලවිය හැකිදැයි උත්සාහ කරන්න. නොහැකි නම් ,
    2. දැන් ඔබ සිටින තත්ත්වය ලොකු අවදානමක් නැතත් (විදුලි සැර වැදීමේ අවදානමක් නැතත්) , කළබල වීමම මරණය වුවද ගෙන ඒමට සමත් බව වටහා ගන්න.
    3. රථය ආසන්නයේ සිටින හෝ , අනතුරට පත් රථය වෙත දිව එන “ආධාරකරුවන්ට“ ළඟට නොපැණෙන ලෙසත් , රිය ස්ඵර්ශ නොකරන ලෙසත් , කළ හැකි උපකාරය නම් , හැකි ඉක්මණීන් විදුලි බල මණ්ඩලයේ ප්‍රෙද්ශයේ උප පොලට සහ පොලිසියට මේ අනතුර දැනුම් දීම බව කෑගසා පවසන්න. (නැතිනම් ඔබේ ජංගම දුරකථනය මඟින් දැනුම් දෙන්න) හැකි ඉක්මණින් බිඳ වැටුනු විදුලි කම්බියේ විදුලි බලය ක්‍රියාවිරහිත කරවා ගන්නට උත්සාහ කරන්න.  (මක් නිසාද , මෙවන් අවස්ථාවක උපකාර කිරීමට එන අය හදිසිය නිසා විදුලිය ගමන් කරන  කම්බිය ස්ඵර්ශ වු රිය ස්ඵර්ශ කළ හොත් ඔවුන්ද අවදානමකට ලක් වන නිසා ) 
    4. පොලිසිය හෝ විදුලි බල මණ්ඩලයේ සේවක මහතෙකු විසින් අදාල විදුලි සැපයුම විසන්ධි කර ඇති බව දැනුම් දෙන තුරු රියේ අසුනකට වී සිටින්න. කිසිදු විමෙක රියෙන් පිටතට අතදමා අවට සිටින කිසිවකු හෝ කිසිදු දෙයක් අල්ලන්නට එපා 
    5. අදාල දැනුම් දීම කළ පසු , ආරක්ෂක පියවර ගනිමින් ඔබට පිටතට ගැනීමේ කටයුත්තට සහය වන්න.
  4. රථය ගිනි ගැනීමක් හෝ ඉතා අවදානම් තත්ත්වයක සිටීනම් , රථයෙන් ඉවතට පැනීමට තරම් හැකියාවක් අැති අය ,
    1. රථයේ දොර පුළුල්ව හැර ගෙන 
    2. රියේ දොර සීමාව තෙක් පැමිණ (දෙපා සහ සම්පුර්ණ ඇඟම රථය තුල සිටින සේ) 
    3. ඔබේ අත් දෙක පපුව හරහා කතිරයක් සේ යවමින් උරහිස් අල්ලා ගන්න (කිසිදු විටෙක වාහනයේ බඳ අල්ලන්නට එපා) 
    4. හැකි තරම් වෙර යොදා  රථයෙන් ඈතට පනින්න . (කිසිදු විටක රථය අල්ලා ගනිමින් බිමට බසින්න උත්සාහ කරන්න එපා , රිය අසුනේ කෙළවරේ සිට පාද දෙකම එකවර යොදා ගනිමින් රියෙන් ඈතට පැනීම කරන්න )
    5. දැන් මොහොතක් සමබරතාවය රැක ගනිමින් සිට පාද දෙකම  එකවර යොදා ගනිමින්  නැවත “හාවුන් පැනීම“ සේ පනිමින් රියෙන් හැකි තරම් ඈතට යන්න .   පැන පැන යාමට තරම් ශක්තියක් නැත්නම් , අවස්ථා කිහිපයක් පැනීමෙන් පසු රියෙන් සෑහෙන තරමක් ඈතට ගිය පසු (එනම් රිය සමඟ ඇඟ ගැටෙන සීමාවෙන් ඈතට) පාද දෙක බිම අතුල්ලමින් අද්දමින් ඈතට යන්න මේ කිසිම වෙලාවක පාද උස්සන එපා , පොලොවේ අතුල්ලමිනුයි යන්න ඕන .අඩුම තරමේ අඩි 30-50ක්  ඔබේ උස වගේ හය හත්   ගුණයක් වත් තරම් ඈතට ඈතට යන්න )
    6. දැන් ඔබ විදුලිය පහරකට ලක්වීමේ අවදානමෙන් ආරක්ෂිතයි . නමුත් කිසිම හේතුවක් නිසා නැවත රිය දෙසට ගමන් කිරීමෙන් වැලකීමට ඔබ හිත තබා ගත යුතුම වෙනවා. පොලිසියට ගිලන්රථ  සේවාට හෝ අවශ්‍ය සහායක සේවා ලබා ගැනීමට දැන් ඔබට කළ හැකියි.
අනතුරකදි හිත උණුවන හිත හොඳ මිනිසුන් වෙතයි ,

 රථයක් විදුලි කණුවකට ගැටීමකදී හෝ රථයක් මතට විදුලි රැහැනක් කඩා වැටුනු අවස්ථාවක , අදාල රැහැනේ විදුලිය විසන්ධි කර ඇති බව  නියමිත ආයතනය මඟින් දැන ගන්නා තුරු රියේ සිටින රෝගීන් පිටතට ගැනීමට  හිත් සනසන්න්නට ඔවුන් අල්ලන්නට උත්සාහ කරන්න එපා  , උපකාර කිරීමට කළබල වීම  කරන්නඑපා , වාහනය අල්ලන්න එපා , වාහනය අසලට පැමිණෙන්නට එපා , එය උපකාරය පිණිස එන ඔබට මරු කැඳවීමට හේතුවක් වන්නට පුළුවන් . ඒ නිසා කල්පනාකාරී වීම හුඟක් වැදගත් .

මෙම සිදුවීමට අදාල පුවත් පතේ දැක්වෙන ඡායාරූප අනුව නම් මිය ගිය පුද්ගලයන් පිළීසිමක් නිසා මිය ගියාට වඩා , විදුලි සැර දේහය තුලින් ගමන් කිරීම නිසා සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් ලෙසයි මට නම් පෙනුනේ , කෙසේ වෙතත් අදාල තීරණය ගත යුත්තේ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා . අපට කළ හැක්කේ නැවත මෙවන් අවාසනාවන්ත තත්ත්වයක් ඇතීවමේ හැකියාව අවම කිරීම සඳහා දැනුවත් කිරීම මඟින් යමක් ලබා දීමම පමණයි. 

මේ කළබලේට ලියාගෙන ගියේ මෙවන් අවස්ථාවකදී කටයුතු කළයුතු ආකාරය පිළිබඳව “ ආයතනික විදුලිමය ආරක්ෂාව “ විෂය යටතේ  අප උගත් දේ පමණයි . මෙය කියවන  ඔබට දැනුවත් නම් තවත් ආරක්ෂක උපක්‍රම සටහන් කරමින් දැනුම් බෙදා දෙන්නට හැකි වේවි. 

මෙවන් අනතුරු මෙම රටවලත්  සිදුවනවා අධීවේගීමාර්ග වලදි වගේම සුළි සුළං කුණාටු , වගේම ශීත කාළයේදි හිම සහ අයිස් නිසා සිදුවන ලිස්සායාම් නිසාවෙනුත් . නමුත් එවන් අනතුරු වලදි මරණයන් සිදුවන අවස්ථා සීමිතයි . හේතු කිහිපයක් , 
  • භාවිත කරන නවීන රථ වල ඇති ආරක්ෂක උපක්‍රම , 
  • හැම විටම ආරක්ෂක බඳ පටි පැළඳ සිටීම ,  
  • මෙම තත්ත්ව වලට මුහුණ දෙන ආකාරය පිළිබඳව පාසල් පද්ධතිය තුලදීම සහ රැකියාව කරන ස්ථාන වලදි ලබා දෙන දැනුම 
  • මෙවන් අවස්ථා වල ඉතා ඉක්මණින් ක්‍රියාත්මක වන “හදිසි දැනුම් දීමේ “ ක්‍රමයක් සහ පොළිසිය-ගිලන්රථ-ගිණිනිවන හමුදාව එක්වූ ජීවිතාරක්ෂක පද්ධතියක්   පැවතීම 

කියාගෙන ගිය  දේ වැටහේද කියන ප්‍රශ්නය නිසා වීඩියෝවකුත් එකතු කළා බලන්න වැදගත් වේවි .


අදාල පුවත් වාර්තාවන් 


කෙසේ වෙතත් අද ලියන්නට හිටියේ වෙනත් මාතෘකාවක් ගැන එනම් දරුවන්ට ඇතිවන විශේෂ අධ්‍යාපන ගැටළුවක් ගැන , පෙර ලිපියේම ඊළඟ කොටස . නමුත් “තැනේ හැටියට ඇණේ ගහන්නට“  ඕන වුන නිසා එම ලිපිය හෙට දවසේ වත් ලියන්නට උත්සාහ කරනවා . 

ඔබ සැමට සුව සතුට පිරි දිනයක් !

තවත් ලස්සන වීඩියෝවක් , මේ කියපු කතාව හරිම ලස්සනට චිත්‍රපටයක් ලෙසින්



Viewing all articles
Browse latest Browse all 245

Trending Articles