Quantcast
Channel: සොඳුරු සුව අසපුව
Viewing all 245 articles
Browse latest View live

164) ඇගෙ හදවත බිඳ රිදවන බූවල්ලා

$
0
0
සෙනසුරාදා ... සතියේ හොදම දවස ! පොඩ්ඩන්ට “සමර් බ්‍රේක්“ එක නිසා දැන් ඉතින් හැමදාම සෙනසුරාදා වගේ . මොකද දවසේම පොඩි පොඩි යුද්ධ . ඒත් දැන් නම් සෙනසුරාදා විශේෂයි . 

“ආ පොඩ්ඩි නැගිට්ටද ? එන්න ...එහෙම නම් තේ එක බීලා ඉන්න “ අම්ම සුපුරුදු පිළිගැනීමේ ප්‍රකාශය 
“හ්ම් . තාත්තේ , අරක පබ්ලිෂ් කරලද ?“ තේ එකේ උගුරු දෙකක් විතර බීපු පොඩ්ඩි ආව කාමරේට 
“නැහැ  තව ටික වෙලාවක් යාවි ..එතකම් කෑම කාළ , අම්මට ටිකක් උදව් කරන්න උදේ කෑම හදන්න .“

උදේ දහයයි වෙලාව ...ගියා දෙරණ එෆ්එම් වෙබ් අඩවියට ...
“පොඩී හරි ,වීඩියෝ එක දාල .. එන්න අක්කත් නැගිට්ටවන්න “
“නැගිට්ටවන්න ඕන නැහැ මේ ඒන්නේ “ 
ඔක්කෝම ටික දැන් පරිගණකේ ඉස්සරහ .  “ශ්‍රී සම්බුද්ධ“ ටෙලි නාට්‍ය මාලාවේ ඊළඟ කොටසට සමවැදිලා ..

සිදුහත් චරිතය ගැන හරිම නිර්මාණාත්මක ටෙලි නාට්‍යයක් කියල හිතෙනවා , ඒ නිසාම හැම සෙනසුරාදා , ඉරිදාවක්ම මඟ හරින්නේ නැතිව මෙය නම් නරඹනවාමයි . 
“අක්කේ , කන්ථක අශ්වයා හරිම ලස්සනයි නේ ? ... දුවන්නේ ලස්සන රිදම් එකකට .“
“හ්ම් .ඒ වුනාම කන්ථක අශ්වයා මැරෙනවා පපුව පැළිලා  තව ටික දවසකින් .., සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ අතඇරල යන දවසේ .“ අක්ක ටිකක් දැනුමුත්තෙක් වගේ කියනවා ..
“එහෙම වෙන්නෙ නැහැ , .එහෙම වෙන්නෙ නැහැනේ තාත්තේ .?“ පොඩ්ඩිගේ මුණ හොඳනැහැ ..
“ඉස්සර වෙලා මේක බලල ඉන්නකෝ , අපි ඉගෙන ගත්තු සිදුහත් චරිතකතාවල නම් එහෙම කියනව , අපි බලමු මේකේ මොකද වෙන්නේ කියලා “ .
“එහෙම වෙන්න පුළුවන්ද  ?   “ , දැන් ඉතින් කතාව බලල ඉවරයි :) 
කොහොම හරි ටෙලි නාටකය නරඹලා අවසන් වුනත් , ඒ අතරේ වුනු කන්ථක අශ්වයගේ ප්‍රශ්නේ...

ඇත්තටම එහෙම වෙන්න පුළුවන්ද ? 


කන්ථක අශ්වයගේ කතාව කුමක් වුවත් , හදවත බිඳීම හේතුවෙන් මිය යන්න වුනත් පුළුවන්.  ඒ කියන්නේ “බිඳුනු හදවත“ කියන තත්ත්වයත් එක්ක මරණය වුනත් ළඟා වෙන්නට හැකි බව වෛද්‍ය මතය. එහෙම නම් දැන් අපි කතා කරන්න හදන්නේ , ඒතරම්ම ප්‍රසිද්ධ නැති නමුත් , අද සිදුවන දේ එක්ක ක්‍රමයෙන් වැඩිවේද කියල හිතෙන තවත් හදවත් රෝගයක් ගැන . ලෙඩේ නම "Broken Heart Syndrome" , බිඳුනු හදවත සංධාවය“ ( සිංහලෙන් යෙදුනු නම වැරදි නම් සමාවන්න , සහ නිවැරදි කරන්න) . වැඩිය කතා නොකළාට මේ රෝග තත්ත්වයට තවත් නම් කිහිපයක් තිබෙනවා. Takostubo Cardiomyopathy , Stress-induced Cardiomyopathy වගේ නම් කිහිපයකින් හඳුන්වන මේ හදවත් රෝගය හැම විටම මාරාන්තික වන්නේ නැහැ , එමෙන්ම , මුල් අවස්ථාවේ හඳුනාගෙන ප්‍රතිකාර ගත හොත් අනතුර සෑහෙන දුරට අඩු කරගත හැකි  තත්ත්වයක් , ඒ නිසාම රෝග තත්ත්වය ගැන ටිකක් දැන ගන්න එක වැදගත්.

ඔක්කෝටම ඉස්සර වෙලා


...සාමාන්‍ය නිරෝගී හදවතක ක්‍රියාකාරීත්වය ගැන කෙටියෙන් කතා කරමු. 
මිනිස් හදවත වම් දකුණු ලෙස කොටස් දෙකකටත්  , එක් පාර්ශවයක් , ඉහළ සහ පහළ කුටීර වලටත් බෙදී තබෙන බව අප දන්නවා. මෙයින් දකුණු පැත්තේ ඇති ඉහළ කුටීර (දකුණු කර්ණිකා) දේහයේ සියළුම ප්‍රෙද්ශ වලින් එන , ඔක්සිජන් අඩු , අපද්‍රව්‍ය වැඩි රැධිරය ගෙන්වා ගෙන පහලට යොමු කරන අතරේ , පහළ ඇති දකුණු කෝෂිකා , එම රැධීරය , පිරිසිදු කිරීමේ කාර්යය සඳහා, පවිත්‍රාගාරය වන පෙනහළු වෙතට තෙරපා යවනවා. පිරිසිදු වන රැධිරය , වම් කර්ණිකාව (වම් ඉහළ කුටීරය) වෙත යොමු වුනාට පස්සේ , ඒ පිරිසිදු රැධිරය දේහය පුරා බෙදා දීමේ කාර්යය වෙනුවෙන් , වම් කෝෂිකාව වෙත තෙරපා හරිනවා.  දැන් තමා වැඩිම මහන්සියක් වන  කටයුත්ත. ඒ තමයි , පැමිණි , පිරිසුදු වූ රැධීරය , දේහය පුරා තෙරපා හරින්න එක . එය කරන්නේ , වම් කෝෂිකාවේ බිත්තිය . ඒ සඳහා වම් කෝෂීකාවේ බිත්තිය අනේක් කුටීර වල බිත්ති වලට සාපේකෂව ශක්තිමත් බවින් වැඩි වෙන විදියට හදන්නට සොබා දහම කටයුතු කරලා තිබෙනවා.

මේ සියළු තෙරපීම් , කම්පනයන් සිදු වන්නට හෘද පේෂිවලට අවශ්‍ය රැධිරය ලබා දීමෙ අතිශ්‍යය වැදගත්ම  කාර්යය කරන්නේ කිරීටක ධමනි Coronary Arteries නම් සිහින් නාල පද්ධතියකින්. බොහෝ අවස්ථා වල හදවත් රෝග ඇති වන්නේ , යම් හේතුවක් නිසා මේ කිරීටක ධමනි අවහිර වීම  නිසා , එයින් පෝෂණය වන හදවත පටක මිය යාම හෝ දුර්වල වීම. අපි හුඟක් බියට පත්වන Heart Attack කියන්නේ මෙවන් අවස්ථාවක් . 


නමුත් මෙයා ටිකක් වෙනස් .


නමුත් , අද මේ කතා කරන රෝග තත්ත්වයේදි මෙවන්ම රෝග ලක්ෂණ ඇති වුනත් , ඒ කීවේ නියම  හෘදයාබාධයක ලක්ෂණ පෙන්වුවත් , පෙර  කී ධමනි වල කිසිදු අවහිර වීමක් දැක ගන්නට වෛද්‍යවරයාට ලැබෙන්නේ නැහැ. නමුත් , ලක්ෂණ අතින් ගත්තම , මෙය “හෘදයාබාධයක්“ .

රිද්දන්නේ කොහොමද ? .


 දැනට පරියේෂකයින් සොයාගෙන ඇති අන්දමට , Broken Heart Syndrome තත්ත්වය ඇති කරවන්නට , මානසිකව ඇතිවන ක්ෂණික කම්පනයන් ප්‍රධාන හේතුව වෙනවා. ක්ෂිණික බියක් , තදබල වේදනාවක් , දුකක්  , ආතතියක් වැනි තත්ත්වයකදි , සිදුවන හෝමෝන වෙනස්වීම් වල බලපෑම හේතුවක් බව හඳුනාගෙන තිබෙනවා. , පිරිසක් ඉදිරියේ කතා කරන්නට බියක් දක්වන අයෙක්ට , එකවර විශාල පිරිසක් ඉදිරියේ කතාවක් පවත්වන්නට වන අවස්ථාවක , නැත්නම් , කෙනෙක් පුදුම කරවන්නට කරන Surprise party එකක්දි ,හිතවන්තයෙක් හදිසියේ වෙන්වී යාමකදි වගේ , අප ඒ තරම් නොහිතන අවස්ථාවක වුනත් මේ තත්ත්වය ආරම්භ වෙන්න පුළුවන්.

හේතුව අහේතුව 


මෙය සිදුවන හේතු කාරකයන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව තවමත් පර්යේෂණ සිදුවුනත් දැනට හඳුනාගෙන ඇති අන්දමට , ඉහත කී ආකාරයේ හදිසි තිගැස්මක් ඇති වන අවස්ථාවක අපේ හෝමෝන පද්ධතියෙන් නිකුත්වන , සමහර හෝමෝන ( ඇඩ්‍රිනලින් වැනි) මඟින් හෘද පේෂිය මතට සිදුවන ,ක්ෂණීක සහ ප්‍රබල බලපැම් නිසා , හෘදයේ වම් කෝෂීකාව සිදු කරන , දේහය පුරා පිරිසිදු රැධිරය තෙරපා හැරීමේ බලය දුර්වල කරනවා , ප්‍රතිපලය වම් කෝෂීකාව වෙත රැධිරය ගලා ආවත් , එය නිසි ලෙස  දේහයේ අනෙක් පටක (හෘද පේෂි ඇතුළුව) වලට යොමු වන්නේ නැහැ. 

ප්‍රතිපල දෙකක් , එක , කෝෂීකාව තුල ක්‍රමයෙන් රැධිරය එක් රැස් වනවා , ඒක හරියට , සෙනඟ පිරිල ඉන්න බස් එකකට , “එන්න එන්න ෂිට් තියෙනවා කියල තව ටික දෙන්ක නග්ග ගන්නවා වගෙ , දැන් බස් එක ඇතුලේ තෙරපීම වැඩියි , බස් එක ඉස්සරහට යත්දි , බස් එකෙන් බහින ගණනට වඩා වැඩි පුර නග්ග ගත්තෝත් දැනෙන දේ , හෘදයේ කෝෂිකාවටත් වෙන්නෙ , එය ක්‍රමයෙන් දුර්වල වෙනවා . දෙවැන්න , ප්‍රමාණවත් රැධිරය නොලැබීම නිසා “රෝග ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා“ 

මොනවද රෝග ලක්ෂණ ? 


මුලින්ම කීව නේ මේක හාර්ට් ඇටෑක් එකක් වගේමයි කියල , ඒ කියන්නේ හෘදයාබාධයක ලක්ෂණ සියල්ල මෙහි තිබෙනවා. 

  • පපුවේ මැද හරියේ ඇති වන ක්ෂණික සහ තව බල වේදනාවක් 
    • මේ වේදනාව පපුව මිරිකනවා වැනි , කටුවකින් අනිනවා වැනි , නැත්නම් පිළිස්සෙන බවක් , හෝ පපුව දෙපසින් අඬුවකින් තදකරන්නාක් වැනි වේදනාවක් / අපහසුවක් වෙන්න පුළුවන්.
  • හුස්ම ගැනීමේ අපහසුව 
  • අත ඔස්සේ හෝ පිට පැත්තෙන් විහිද යන වේදනාවක් 
  • අධික ලෙස දහදිය දැමීම සහ වමනය 
  • පෙනීම  දුර්වල වීමක් සහ කල්පනාව වෙනස්වීමක් 
රෝග ලක්ෂණ අතින් සමාන කම් තිබුනත් , මේ ලක්ෂණ ආරම්භ වීම අතින් තමයි වෙනස්කම් තිබෙන්නේ . ඒ කීවේ සාමාන්‍යයෙන්  හෘදයාබාධයක් මතුවෙන්නේ , යම් තරමක වෙහෙසවීමකට පස්සේ ( පොදු ලක්ෂණයක් ලෙස මෙය ගන්නට පුළුවන් වුනත් , දැනෙන වෙහෙසවීමක් රහිත අවස්ථාවෙත් හෘදයාබාධයක් එන්නට පුළුවන් ) , නමුත් මේ අද කතා කරන හෘදයාබාධය ඇතිවෙන්නේ “වෙහස වීමකට වඩා ‘‘ දැඩි තිගැස්මකට, කම්පනයකට  ලක්වුනු අවස්ථාවක . ඒ වගේ අවස්ථා වලට උදාහරණ කිහිපයක් මීට පෙර කතා කළා. 

අනෙක් වෙනස් කම තමයි , මුලින් කී සාමාන්‍ය හෘදයාබාධයකට පස්සේ , පරික්ෂණ කරත්දි , හෘද පේෂියට ලේ ගේන කිරීටක ධමනි අවහිර වීමක් , පටු වීමක් හඳුනගන්නට පුළුවන් , නමුත් Broken Heart Syndrome දි , එවන් ධමනි වල පැහැදිලි වෙනසක් හඳුනාගන්නට බැහැ . 

මේ වෙනස්කම් තිබුණත්  ,

 මේ අවස්ථා දෙකම ඉක්මණ් වෛද්‍ය ප්‍රතිකාරයකට යොමු විය යුතු අවස්ථා බව අමතක කරන්න එපා . ආ ඒක , Broken Heart Syndrome  එකක් කියල  ගණන් නොගෙන හිටියොත් ලොකු අනතුරක් අතළඟ. ඒ නිසා මේ ඉහත  කී පොදු ලක්ෂණ දැන ගත් වහාම , කළබල නොකර , නොවී , සුදුසුකම් ලත් , පහසුකම් ඇති වෛද්‍ය ආයතනයකට යොමු වීම , යොමු කරවිම තමයි මුුලිකම දේ

මේ තත්ත්වයට පත්වුනොත් , මුලික වෛද්‍ය පරික්ණයකින් පස්සේ , හෘදය ආශ්‍රිතව කෙරෙන විශේෂිත පරික්ෂණ කෙරේවි , E.C.G. , XRay , විතරක් නොවෙයි , ඇනිජියෝග්‍රැම් පරික්ෂණයකුත් කරන්නට ඉඩ තිබෙනවා . ඒ සියළු පරික්ෂණ වලින් පස්සේ මෙය Broken Heart Syndrome යැයි තහවුරු වේවි. මේ වෙත්දි , අදාල රෝගියා වෙනුවෙන් , හෘදයාබාධයකට කෙරෙන සමහර ඖෂධ ආරම්භ කරල වෙන්න පුළුවන් . 
රෝග තත්ත්වය මේ යැයි නිගමනය වීමත් සමඟ , තවත් අතිරේක ඖෂධ කිහිපයක් එකතු කරන්නට පුළුවන් , ඒ මානසිකව ඇති වන පීඩනය , ආතතිය තත්ත්වය අඩු කරන්නට , ඊට අමතරව , චිකිත්සකීය උපදේශනයකට යොමු කරන්නත් පුළුවන් . මේ සියළු දේ නිසි ලෙස සැලසුනා නම් , සාමාන්‍යයෙන්  මාස දෙකක් වගේ සීමාවකදි , මේ “හෘදයාබාධය“ සුව තත්ත්වයට පත්වෙලා. නමුත් නිසි ප්‍රතිකාර නොගත්තොත් , කෝෂීකාවේ මතුවුනු වෙනස දිගුකාළීන වෙනසක් බවට පත්වෙලා , කාළයක් තිස්සේ ප්‍රතිකාර ගත යුතු හෘද රෝගියෙක් බවට පත් කරන්නට හෝ , ඊට වඩා අවාසනාවන්ත අවස්ථාවකට පත්වන්නටත් ඉඩ තිබෙනවා.
මේ තමයි කෝෂිකාවේ වෙනස

මේ තමයි බූවලු උගුල 







ලෙඩේ ගැන කතාව නම් ඉවරයි , දැන් ඔබ බලනව ඇති මොකක්ද මේ මාතෘකාවේ තිබෙන බූවල්ලා ගැන කතාව කියල , මෙහෙමයි , මේ කියපු රෝගී අවස්ථාවට පත්වුනු හෘදයේ කෝෂීකාව ලේ පිරිලා , ඉදිමුණාට පස්සේ , ඒක හරියට “කළ ගෙඩියක් වගේ“ , අපට එහෙම පෙනුනට ඒක ජපන් ජාතිකයන් “බූවල්ලන් අල්ලන්නට “ යොදා ගන්න කළ ගෙඩි උගුළක් විදියටයි , ඒ උගුලට ඔවුන් පාවිච්චි කළ නම tako-tsubo ඒ නිසා තමයි මේ රෝගයට Takostubo Cardiomyopathy නම යෙදුවේ. 

ඔන්න එහෙම නම් අද  කතාව ඉවරයි , සමුගන්නම් , නැවත හමුවන අපේක්ෂාවෙන්. සුව සතුට පිරි දිනයක් ඔබට !

මේ වැඩේ වැරදියි. ඔබට අයිති නැති දෙයක් !

$
0
0
 පෙර ලිපිය ලියා මාසයකට ආසන්න කාළයක් ගත වුනත් , තවත් ලිපියක් එක් කරන්නට අවසථාවන් ලැබුණත් , සුදානම් වුනත් එය මොහොතෙන් මොහොත කල් යවන්නට හිත පෙළඹවන්නට තරම් , මානසික පීඩාවක් ඇති කරවන්නට සමත් වූ , සිංහල බ්ලොග් පාඨකයෙකුගේ “සත්කාර්යය“ පිළිබඳවයි අද දවසේ කතාව.



පිංතූරය www.blacknbougie.com
කෙනෙකුට හරසුන් දෙයක් ලෙස හැඟෙන්නටත් පුළුවන් , නමුත් අවශ්‍ය තැන නිසි පැහැදිලි කිරීමක් කළ යුතු යැයි හැඟෙන නිසා මම සටහන ලියමි. සටහන  තුලින් කිසිවෙකුගේ සිත් රිදවීමක් අපේකෂා නොකරන අතර , අදාල “සත්කාර්යය“ කරන පාඨකයා මෙය කියවන නිසා ඔහුට හෝ ඇයට වටහා ගත හැකි තරමින් සරළව ලියන්නට උත්සාහ කරමි.

සත්කාර්යය කුමක්ද ?  පසුගිය දින කිහිපය පුරා දිනපතාම , සොඳුරු සුව අසපුව සහ ඊට සබැඳි බ්ලොග් පිටු වෙත ,  එකම අර්ථයක් ඇති ප්‍රකාශයක් යොමු වීම .

මොකක්ද මේ  අසාමන්‍ය ප්‍රකාශය ?

“Anonymous has left a new comment on your post

“දැන් හෙද නිලධාරීන්ද එතකොට මිනිස්සුන්ගෙ රෝග විනිශ්චය කරන්නෙ?හෙද නිලධාරියා කියන්නෙ රෝගියාට හෙදකම සපයන කෙනා මිස වෙදකම සපයන කෙනා නෙමෙයි නේ.වෛද්‍ය පොත් පත් වලින් බල බල වෛද්‍ය කරුනු කියන එක කොයිතරම් සදාචාරවත්ද?මේ වැඩේ වැරදියි. ඔබට අයිති නැති දෙයක්.ඒ වගෙම මෙම කරුනු වල නිවැරදි කම පිලිබඳ විශ්වාශ කරන්නේ කෙසේද?“

බැලූ බැල්මට කිසිම වැදගත්කමක් නැති ප්‍රකාශයක් ලෙස පෙනුනත් , එය තුල සැඟවුනු යම් අරුතක් ඇති බව කියැවෙන නිසාවෙනි අද දවසේ ලිපිය මේ ගැන කතා කරන්නට අරමුණු කළේ.

දන්නවනේ , සොඳුරු සුව අසපුවේ ලිපි කෙටි කතා නොවන බව , එ් ආකරයෙන්ම , අදත් මුල ඉඳළම කතාව පටන් ගන්නයි දැන් මේ හදන්නේ .

මොනවද මේ බ්ලොග් ? 
අන්තර්ජාලය තුල සටහන් කෙරෙන , සටහන් පොතක් , දිනපොතක් හෙවත් Web log එකක් , බ්ලොග් එකක් බවයි සරළ හැඳින්වීම . එය වෙනකෙකුට කියවිය , ශ්‍රවණය  කළ නොහැකි අතිශ්‍ය පෞද්ගලික ලෙස පවත්වා ගෙන යන්නේ නම් ඇත්තටම එය දිනපොතක් , දිනපතා , නැත්නම් වරින් වර සටහන් එකතු වන විද්‍යුත් දිනපොතක් . නමුත්  , එය තවත් පාඨකයන්ට , ශ්‍රාවකයන්ට බෙදා ගත හැකි පරිදි විවෘතව පවතින්නේ නම් එය “දිනපොතක්“ කියන සංකල්පයට වඩා ඉදිරියට ගමන් කරනවා.  අද වන විට අන්තරාජාලය පුරා බිලියන ගණනක බ්ලොග් නිර්මාණය වී පවතිනවා .

කවුද මේව ලියන්නේ ? 
පෙර පාසල් වයසේ දරුවන්ගේ ඉඳළ ලෝකයේ ඉහළම මට්ටම් විද්‍යාඥයින් දක්වා සියලු මට්ටම් වල රසිකයින් මේ බ්ලොග් පරිසරය තුල බ්ලොග් ලියමින් සිටිනවා. හුදෙක් විනෝදය පමණක් නොවේ , වෙළඳ අරමුණු ඇති , විිවිධ දේශපාලනික මතවාද , කළාව , විද්‍යාව ගැන වගේම , විවිධ සමාජ පර්යේෂකයින් පවා මේ බ්ලොග් පිටු පවත්වාගෙන යනවා. මම මෙතැනදි කතා කරන්නේ සිංහල බ්ලොග් ගැන පමණක් නොවෙයි. ලොව පුරා සියළු භාෂා වලින් පවතින බ්ලොග් සටහන් පිළීබඳවයි.

ඇයි බ්ලොග් ලියන්නේ ? 
විවිධ අරමුණූ ඇතිව , අයෙක් තමන්ගේ පාළුව කාන්සිය මකා ගන්නට ලියනව වෙන්නත් පුළුවන් . තවත් අයෙක් , තවත් ප්‍රජාවකට පීඩාව්ක ඇති කිරීමේ අරමුණෙන් ලියන්නත් , වෙන අයෙක් තම නිර්මාණශිලීත්වය නිදහසේ ලොවට යොමු කරන්නටත් මේ මාධ්‍යය යොදා ගන්නවා ඇති. ඔය වගේ විවිධ අරමුණ , අපේක්ෂා මත ලොව පුරාම මේ බ්ලොග් බිලියන ගණනත් සක්‍රියව පවතිනවා අද වන විට.

එතකොට සොඳුරු සුව අසපුව කියන්නෙ ?
ඔව් , සොඳුරු සුව අසපුව කියන්නේ තවත් සිංහල බ්ලොග් පිටුවක් , සිංහල යුනිකේත හඳුන්වා දුන් ශ්‍රී ලාංකික තරුණ තාක්ෂණවේදීන්ට ස්තුති වන්නට , සිංහලෙන් අකුරු කෙරෙන තවත් බ්ලොග් පිටුවක්. මූලිකව සෞඛ්‍ය සහ ඒ සම්බන්ධ මාතෘකා ගැනත් , ඉන් අමතරව ලොවට සුන්දර වූ විවිධ මාතෘකා ගැන කතා කරන්නටත් නිදහසේ ලියන්නට  blogger ගෙන නොමිලේ ලැබෙන අන්තර්ජාල ඉඩහසර යෙදා ගත් සිංහල බ්ලොග් සටහනක් ,( අද වාර්ෂිකව මුදල් ගෙවමින් පවත්වාගෙන ගියත් ) . ඇත්තෙන්ම මෙහි මුල්ම අරමුණ වුනේ , මගෙන් දුරස්වන “මගේම සිසු දරුවන් පිරිසකට“ දුර ඈත රටක ඉඳගෙන හරි , තව දුරටත් යමක් කියා දීම වුනත් , පසුව ඒ අරමුණ ඊට වඩා ටිකක් පුළුල් කරන්නට හේතු වුනේ මා ප්‍රිය මිතුරු මිතුරිය ඔබගේ දිරි ගැන්වීම් නිසාමයි. මේ ගැන “මා ගැන “ පිටුවේ http://www.nursinglk.com/p/blog-page_19.html සටහන්ව ඇති නිසා නැවත ලියන්නට අවශ්‍යතාවයක් නොවන බව දනිමි.

එතකොට , මේ පිටුවට ලියන්නෙ “දොස්තර “ කෙනෙක්ද ?
නැහැ , මේ පිටුව තුල අඩංගු සියළුම ලිපි ලියැවුනේ , ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුල මාණ්ඩලික හෙද නිලධාරියෙක් ලෙස ලියාපදිංචිය , වෘත්තීමය නෛතික බැඳීමක් ඇති හෙද නිලධාරිවරයෙක්. මේ පිළිබඳව බොහොම විවෘතව “මා ගැන “ පිටුව තුල මෙන්ම , විවිධ ලිපිතුලද මා වරින් වර සටහන් තබා ඇති බව මතකයේ ඇත.

වෛද්‍යවරයෙක්ට  හැර වෙන අයට අයිතියක් තියෙනවද “ලෙඩ රෝග“ ගැන ලියන්න.?
බ්ලොග් කියන්නෙ බොහොම විවෘත මාධ්‍යයක් , ඕනම කෙනෙක්ට ඕනම මාතෘකාවක් ගැන ලියන්න පුළුවන්. ඒත් යම් විෂයානුබද්ධ මාතෘකාවක් ගැන ලියැවෙනවා නම් , ඊට අදාල විෂයානුබද්ධ සහ ප්‍රායෝගික දැනුම ඇති අයෙක් එය ලියනවා නම් එහි සාර්ථක බව සහ පරිණත බව වැඩියි. විශේෂයෙන්ම සෞඛ්‍ය හා සම්බන්ධ මාතෘකාවක් ගැන කතා කරත්දි මේ තත්ත්වය හුඟක් වැදගත්. නමුත් එයින් කියැවෙන්නේ නැහැ , “සෞඛ්‍ය ගැන “ ලිපි/ බ්ලොග් ලිවිය හැක්කේ /යුත්තේ වෛද්‍යවරයෙක් වෛද්‍ය සිසුවෙක්ම පමණක් බව. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල ඕනෑම වෘත්තිකයෙකුට ( නියමිත සිද්ධාන්ත / ප්‍රාෙයා්ගික පුහුණූව සම්පුර්ණ කළ සහ විෂයානුබද්ධ අත්දැකීම් ඇති) සෞඛ්‍ය ගැන ලෙඩ රෝග ගැන කතා කරන්න , ප්‍රජාව දැනුවත් කරන්නට ආචාරධර්මානුකූල වගේම නෛතික අයිතියකුත් , ඊට වඩා වගකීමකුත් තිබෙනවා. උදහරණයක් විදියට ඖෂධවේදීයෙක් , යම් ඖෂධයක් ශරීරය පුරා ක්‍රියාත්මක වන ආකාරය, රෝග තතත්වය සුව කරගන්නට උපකාර කරන විදිය වගේම , සිදුකරන අහිත කර ප්‍රතිපල ගැනත් ප්‍රජාව දැනුවත් කළ යුතු වෙනවා. වෘත්තීය චිකිත්සකවරයාට පුළුවන් , අදාල වූ රෝග තත්ත්ව , පවතින ප්‍රතිකාර සහ ඊට අදාල කරුණූ ගැන දැනුවත් කරන්නට. (බ්ලොග් පැත්තෙන් උදාහරණ ලෙස කිහිපයක්  http://thesportsphysio.wordpress.com/ , http://atyourcervix.blogspot.ca/)

අවාසනාවකට අපේ රට තුල “සියල්ල බදාගත්“ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුනත් , සෞඛ්‍ය අතින් ඉහළ මට්ටමේ ඇති රට වල “සෞඛ්‍ය සේවාව “  කියන්නේ “බදාගත් සේවයක්“ නොවෙයි , එය වෘත්තීන් කිහිපයක් අතරේ බෙදා ගත් සේවාවක්, ඒ සියල්ල නිසි ලෙස එක්වී team work එකක් විදියටයි රෝගියාට ප්‍රතිලාභ ලබා දෙන්නේ. අන්න ඒ කණ්ඩායම් සංකල්පය තුල මේ ලෙඩ රෝග ගැන දැනුවත් කිරීමේ කර්තව්‍ය අදාල සියළු වෘත්තිකයන්ට පැවරෙන වගකීමක්. 

සොඳුරු සුව අසපුව ලියන මම , රජයේ හෙද විදුහලක , වසර තුනක කාළයක් සිද්ධාන්තමය සහ ප්‍රාෙයා්ගික විෂයයන් තිහකට වඩා අධ්‍යයන කර , අදාල පරික්ෂණ සමත්ව , ඊට පසුව ලංකාවේ පවතින ක්‍රමවේදය මත “ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුල“ ලියාපදිංචිය ලබන්නේ . ඊට අමතරව , වසර දොළහකට වඩා වැඩි සේවා කාළය තුල  , දේශීය වගේම විදේශීය වශයෙනුත් ලබා ඇති පුහුණු ඔස්සේ ලැබුණූ දැනුම සහ පන්නරය මත , සෞඛ්‍ය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමට අවශ්‍ය දැනුම සහ හැකියාව ඇති බව මගේ විශ්වාසයයි. කැනඩා දේශය තුලදී මා ලද පාඨමාලාවන් නිසා  , නවතම සෞඛ්‍ය දැනුම එකරැස් කරගන්නට ලැබීම වාසනාවක් ලෙස දකින්නට කැමැත්තෙමි. සොඳුරු සුව අසපුව තුල ලියවෙන ලිපි තුල , සාම්ප්‍රදායික දැනුම මෙන්ම , ඒ නවතම සෞඛ්‍ය දැනුමද මුසු කරලන්නට මම හැම විටම උත්සාහ කළෙමි.

දිගු ලිපියක් ලියන්නට පෙරවදන් දුන් “ප්‍රකාශනයට“ පිළිතුරු ලියන්නට පෙර එකක් කිව යුතුය . එනම් “සෞඛ්‍යය , ලෙඩ , බෙහෙත් “ යන මාතෘකා , එක් බමුණු කුළයකට පමණක් අයිති වන ලෙස බ්‍රහ්මයා මවා දුන් දේ නොවේ , එය සියල්ලට අදාල මාතෘකා වන අතරේ ඒ ගැන දැනුවත් කිරීමේ මූලික වගකීම රටක සෞඛ්‍ය වෘත්තීක කණ්ඩායමට භාරවේ . හෙද නිලධාරිවරයෙක් ලෙස මගේ වෘත්තිය දිශාවෙන් ඇති වගකීම , ජාත්‍යන්තර හෙද කවුන්සිලයේ Internatioanl Nurses Council අර්ථදැක්වීම ඔස්සේ ගෙනහැර පාන්නට කැමැත්තෙමි.

DEFINITION OF NURSING
Nursing encompasses autonomous and collaborative care of individuals of all ages, families, groups and communities, sick or well and in all settings. Nursing includes the promotion of health (සෞඛ්‍ය ප්‍රවර්ධනය) , prevention of illness (රෝග වලක්වා ගැනීම), and the care of ill(රෝග සත්කාරය), disabled and dying people. Advocacy (උපදෙස් ලබා දීම) , promotion of a safe environment(ආරකෂිත පරිසරයක් ලබා දීම) , research (පර්යේෂණ) , participation in shaping health policy (සෞඛ්‍ය ප්‍රතිපත්ති සැකසීමට දායකවීම) and in patient and health systems management (සෞඛ්‍ය පද්ධති කළමණාකරණය , and education (සෞඛ්‍ය අධ්‍යාපනය ) are also key nursing roles.
(http://www.icn.ch/about-icn/icn-definition-of-nursing/)

දැන් අදාල නිර්ණාමික ප්‍රකාශය වෙත කරුණූ දක්වන්නට කැමැත්තෙමි.
  • දැන් හෙද නිලධාරීන්ද එතකොට මිනිස්සුන්ගෙ රෝග විනිශ්චය කරන්නෙ?
රෝග විනිශ්චය යනු , සංකීර්ණ පියවර රැසක ප්‍රතිපලයකි, පුද්ගලයෙක්ගේ සායනික /කායික හෝ මානසිකව පවතින අසාමාන්‍යතාවන් , සහ ප්‍රමාණයන් පිළිබඳ තක්සේරු කොට යම් තීරණයක් ලබා දීම ලෙස ඉතා මතු පිටින් එය හඳුන්වා දිය හැකි අතර සොඳුරු සුව අසපුවේ කිසිදු ලිපියක මේ කාරණා සම්පුර්ණ කර “රෝග විනිශ්චයන්“ ලබා දී නැත . මා කර ඇත්තේ යම් රෝග තත්ත්වයක් පිළිබඳව විස්තරාත්මක සහ සාමාන්‍ය ප්‍රජාවට දැනගත යුතු සහ තේරුම් ගත හැකි මට්ටමේ පැහැදිලි කිරීම් පමණි.
  • හෙද නිලධාරියා කියන්නෙ රෝගියාට හෙදකම සපයන කෙනා මිස වෙදකම සපයන කෙනා නෙමෙයි නේ
එසේය , හෙද නිලධාරියා කරන්නේ හෙදකම සැපයීමයි , නමුත් හෙදකම සැපයීම යනු හුදෙක් බෙහෙත් පෙත්තක් කටට දැමීම හෝ තුවාලයකට බෙහෙත් දැමීමක් පමණක් නොවන , ඊට වඩා සංකීර්ණ ක්‍රියාදාමයකි. අවාසනාවකට අපේ රටේ ඇති හෙද හිගය සහ තවත් හේතු නිසා ඒ සංකීර්ණ හෙද ක්‍රියාදාමය (Nursing Process) සාමාන්‍ය ප්‍රජාවට හඳුනාගැනීමට අවස්ථාවක් නැති වීම මෙන්ම ඒ පිළිබඳව ප්‍රජාව තුලට අවබෝධයක් ඇති කරවන්නට පෙළඹවීමක් හෙද වෘත්තිකයන් තුලද පෙනෙන්නට නොවීම “බදාගත් සෞඛ්‍ය සේවයක්“ බිහිවීමට හේතු ලෙස මම දකිමි. ඉහත දක්වා ඇති සියළු කාර්යයන් හෙදිය සතු වගකීම් වන නිසා නැවත ඒ ගැන ලියන්නට උත්සාහ නොකරමි.

  • වෛද්‍ය පොත් පත් වලින් බල බල වෛද්‍ය කරුනු කියන එක කොයිතරම් සදාචාරවත්ද?
වෛද්‍ය විද්‍යාව යනු දිනපතා දියුණූ වන , පර්යේෂණ කෙරෙන විෂය ක්ෂේත්‍රයකි. ඒ නිසා යම් රෝග තත්ත්වයක් පිළිබඳව අද ලියන දේ හෙට වන විට වෙනස්වී තිබෙන්නට පුළුවන්. ඒ නිසාම ලෙඩ රෝග ගැන ප්‍රජාව දැනුවත් කිරීමේදි , අදාල අළුත් දැනුම ලබා දිම වඩා ඵලදායී වේ. ඒ නිසාම නොව , ඕනෑම රෝග තත්ත්වයක් ගැන සටහනක් , පොතක් ලිවීමේදි සියල්ලන් ආශ්‍රිත ග්‍රන්ථ ඇසුරු කිරීම ,නව පර්යේෂණ පිළිබඳව පුදුමයක් නොවේ , , එසේ නොමැතිව සාස්තර කියන්නා සේ ලෙඩ රෝග ගැන දැනුවත් කිරීම , වගකීමක් ඇති සෞඛ්‍ය වෘත්තිකයෙක් කරන්නේ නැත. 

මේ සටහන ලිවීමේදී මාද පර්යේෂණ ග්‍රන්ථ ඇසුරු කරමි (එ් පොත්පත් , වෙබ් අඩවි පිළිබඳව “මා ගැන පිටුවේ සඳහන් කර ඇත) , අදාල රෝග තත්ත්වය පිළිබඳ , ඊට අදාල ඖෂධ වල නවතම පර්යේෂණ වල අළුත්ම තොරතුරු විමසා බලමි . ( විශේෂයෙන්ම සායනික පර්යේෂණ ක්ෂේත්‍රය තුල වෘත්තියේ යෙදෙන මගේ බිරිඳගෙන් ඊට ලැබෙන සහය මා නිබඳ අගය කරමි) . සොඳුරු සුව අසපුව තුලට ලිපියක් එන්නේ මේ සියල්ලම එක්වූ පසුවයි , එසේ නොමැතිව හෙද විදුහල තුල විශේෂඥ වෛද්‍යවරයා කියා දුන් කරුණූ , නැත්නම් හෙද ආචාර්යවරයා ලබා දුන් සටහන් පමණක් මේ සඳහා පාදක කරගන්න්ට තරම් නිද්‍රාශීලී ප්‍රතිපත්ති අනුගමනය නොකිරීම මගේ ආකෘතියයි. ඒ නිසා නවතම විෂය කරුණු , ප්‍රාෙයා්ගික සේවය තුල ලබා ගත් දැනුම සියල්ල මුසු කිරීමෙන් ලියැවෙන ලිපියකි සොඳුරු සුව අසපුවට එකවන්නේ.

  • මෙම කරුනු වල නිවැරදි කම පිලිබඳ විශ්වාශ කරන්නේ කෙසේද?
සොඳුරු සුව අසපුවේ කිසිදු ලිපියක , මේ සියළු කරුණු හිස්මුදුනින් පිළීගත යුතුයැයි සඳහන් කොට නොමැත්තෙමැයි . මා දැනගත් කරුණූ , අකුරු ගොඩක් කොට ලිපියකට එක් කළත් එය විවෘතය. එහි නිවැරදිභාවය සොයා ගන්නට ක්‍රම කෙතරම් ඇත්ද ? ලියැවි ඇති රෝග තත්ත්වය පිළිබඳව ඔබට යම් ගැටළුවක් ඇත්නම් ඔබෙ පවුලේ වෛද්‍යවරයා හමු වූ විටෙක එය ගැන සාකච්ඡා කරන්නට අවස්ථාව ඇත. ඊට අමතරව පුස්තකාළය වෙතින් ලබා ගත් වෛද්‍යාත්මක කරුණූ අඩංගු පොතක් කියවන්න ඉඩක් වෙන් කරගන්නට පුළුවනි. එසේත් නැති නම් ලෙඩරෝග ගැන ජාත්‍යත්තරව පිළිගත් වෙබ් අඩවි ගණනාවක් ඇත . එවන් ලොව පිළිගත් වෙබ් පිටුවක් ඔස්සේ පැන නැගි ගැටළුව විසඳා ගන්නට අද ඔබට අවස්ථාව පවතී.
  • මේ වැඩේ වැරදියි. ඔබට අයිති නැති දෙයක්
  • මේ ප්‍රකාශය පිළිබඳව මම තීරණය කරන්නට උත්සාහ නොකරමි . ඒ සඳහා අවස්ථාව ඔබට ලබා දෙමි . සොඳුරු සුව අසපුව ඔස්සේ වසර තුනකට වඩා වැඩි කාළයක් ඔබ සමඟ කළ කතා බහ නිසරු යැයි ඔබට හැඟේ නම් පවසන්න , නිසරු වෙනම් , තවත් කාළය කා දමමින් දරු පැටවුන් සමඟ සතුටින් ගත කළ යුතු කාළය අන්තර්ජාලය ඉදිරියේ සිංහල අකුරු අමුණන්නට තවත් උත්සාහ කිරීමට අවශ්‍ය නොවේ යැයි සිතමි. 
    එසේ නිමා කළත් මම සතුටින් මේ සටහන නිමා කරමි , ඒ සතුටට හේතුව නම් , සිරි ලංකාවේ කම්කරුවාගේ සිට මිිලියනපතියා දක්වා එක්වී , නිදහස් අධ්‍යාපනය ලෙස මට ලබා දුන් වටිනාකම , උපන්  දේශය තුල මගේ වෘත්තිය කරන කාළ සීමාවේ දී හැකි පමණ සාධාරණව කරමින් ප්‍රතිලාභ ලබා දෙන්නට උත්සාහ කළෙමි , ඒ පිළිබඳව මම සතුටු වෙමි. වෘත්තිය අරගල කෙතරම් තිබුණත් , එදා මට මගේ ඒකකය , රෝගීන් වෘත්තීය අරගල වෙනුවනේ බිල්ලට ගන්නට සිත නොනැමිණි , එය සතුට හැඟිමකි. සනීපාරක්ෂක කම්කරුවාගේ සිට , විශේෂඥ වෛද්‍යවරයා දක්වා සියළු කණෟඩායම් සමඟ වෘත්තීය බැඳිමෙන් , මිත්‍රත්වයෙන් , රජයේ නීති රීති වලට අදාල කාළ සීමාව තුල සේවය කරන්නට හැකිවීමම සතුටක් ලෙස විඳිමි.
    ලෙඩ රෝග වලට , ජීවිත වලට හොඳ “මිලක්“  නියම කරන අද දවසේ , උපන් රටින් එපිට සිට උපන් රටේ බසින් ලෙඩරෝග ගැන කතා කරන්නට කළ උත්සාහය පිළිබඳ මෙතෙක් ආ දුර පිළිබඳ සතුටු වෙමි . ඒ වෙනුවෙන් මා සමඟ එකවූ , දිරිමත් කළ ඔබ සැමගේ මිත්‍රත්වය පිළිබඳ සතුටු වෙමි.
අවසානය , ඊරිෂ්‍යාව පොදු මිනිස් ලක්ෂණයකි, එය පාළනය කර ගන්නට තරම් උසස් හැකියාවක් නැති , නිර්නාමිකයෙකු ලෙස මේ ප්‍රකාශය යොමු කළ මිතුරා හෝ මිතුරිය වෙත යමක් පවසමි. මේ වැඩේ වැරැද්දක් ඇත්නම් , මට අයිති දෙයක් නොවේ නම් , මේ පිළිබඳව නිර්ණාමික ඔබට පෙර අදහස් දක්වන්නේ , සොඳුරු සුව අසපුව සටහන සමඟ නිරන්තරයෙන් එක්වන හිතමිතුරු , වෛද්‍ය නිළධාරින්ය වෛද්‍ය සිසුන්ය . නමුත් මේ වසර තුන පුරාවට මා දිරි ගැන්වීමක් මිස , බාධාවක් කරන්නට ඔවුන් නම් පෙළඹූනේ නැත. 

එමෙන්ම, මෙය වැරැද්දක් නම් ඒ  පිළිබඳව පැමිණිලි කරන්නට නීත්‍යානූකූල ආයතන රට තුල පවතී ශ්‍රී ලංකා හෙද සභාව , ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඒ ආයතනයි . ඔබට මෙන් මට සැඟවෙන්නට අවශ්‍යතාවක් නැත. මගේ තොරතුරු සියල්ල විවෘතව “මා ගැන “ පිටුවේ සටහන් තබා ඇත. ඔබ  , ඔබට හැකි දේ කරන්න ,මා මගේ හැකියාවේ තරමට යමක් කළෙමි , නමුත් සොඳුරු සුව අසපුව බ්ලොග් සටහනනේ කිිසිඳු තැනෙක ලෙඩ රෝග විකුණාගෙන කෑමේ  හෝ වෙනත් වාණිජ පරමාර්ථ නොතිබිණු අතර එවන් ආයතන / පුද්ගලයන් වෙත පහර ගසන්නටද උත්සාහ නොකළෙමි. මෙය හුදෙක් නිරාමිස සතුටක් වෙනුවෙන් ලියැවුනු තවත් එක් සටහනක් පමණි.

සොඳුරු සුව අසපුව කියවන , කියවු බුද්ධිමත් පාඨක ඔබ වෙත නැවත ඔහුගේ / ඇයගේ ප්‍රකාශය යොමු කරමි , “ මේ වැඩේ වැරදියි. ඔබට අයිති නැති දෙයක් “  මේ පිළිබඳව ඔබේ අදහස සටහන් කරන්නට ඔබට යෝජනා කරමි , මෙතෙක් කිසිදා කොමෙන්ට් කරන්නට ඉල්ලීම් නොකළත් , අද ඒ සඳහා ඔබට ආරාධනා කරමි . 

සුව සතුට පිරි දිනයක් ඔබ සැමට !

165) හිස කළඹණ බඩලොකු වෙන Budd-Chiari

$
0
0
සුන්දර Ball's falls ඇරඹුම 
පොඩ්ඩන්ට නිවාඩු නිසා අපට නිවාඩු නැතිම දවස් ටික (අළුත් පෝස්ට් එකක් පමාවට මේතක් එක හේතුවක්)  ,  හැම සති අන්තයකම වගේ පහුගිය සෙනසුරාදාවක , Ball's fallsවෙතට ගිය චාරිකාව නිමා කරන ගෙදර එන ගමන් .

“දැන මෙතනම පැය බාගෙකටත් වැඩියි , එක වාහනයක්වත් හෙලවෙන්නේ නෑ , අපරාදෙ මං කීවේ මීට ඉස්සර වෙලා තිබුණු  exit එක ගත්තනම් දැන් මෙලහකටත් ගෙදර “ මනෝජගෙන් පොඩි නෝක්කඩුවක්


“නියමයි මේ බලන්න පිටිපස්සෙ වාහනේ කට්ටිය පාරට බැහැල , අපිත් බහිමුද ?  “ අක්කටයි නංගිටත් දැන් නං ඉඳළ ඇති වෙලා වගෙ ...

“නෑ , බහින්න එපා , තව ටිකකින් යන්න පුළුවන් වේවි  , මට හිතෙන්නේ මෙ exit ramp  එකෙත් accident එකක් වගේ. “ 

“තව ටිකකින් ! ... නේද ලොකූ ....තාත්තටත් ඕන උනානේ පාළම කැඩිච්ච හැටි ළඟටම ගිහින් බලන්න , නැත්නම් දැන් අපි ගෙදර නේද ?“  ලොක්කි පොඩි හිනාවක් දැම්ම , .....අම්මල දූල ඔක්කොම එකයි :) 

“කමක්නෑ ,අද එච්චර ලොකු වැඩකුත් නෑනේ , අපි මෙහෙම ටිකක් විවේක පාඩුවේ හයිවේ එකේම ඉඳළ යමු , මේකත් වෙනසක් නේ , පැයක්ම හයිවේ එකේ එකම තැන හිටිය කියන එකත් “ 

මේ අවහිර වුනු ගුවන්පාලම 
“තාත්තේ මුළු පරාම බ්ලොක් වෙලා , අර මං හිතන්නේ කිලෝමිටර් දෙකක් තුනක් විතර ඈතට පේනව මෙතැනට “ පොඩ්ඩි කතාවට එකතු වෙනවා .

“හ්ම් මේහෙම උනාම ඉතින් මුළු පාරම විතරක් නොවෙයි , අනෙක් පාරවලුත් බ්ලොක් වෙලා ඇති , ඇයි හයිවේ එකට දාන්න එන වාහනත් දැන් හිරවෙලානේ , කමක් නෑ දැන් ඉතින් වෙන කරන්න දේකුත් නෑනේ ඉවසගෙන ඉමු “ 

පැයකට වඩා හිටිය එකම තැන , කොහොම හරි ගෙදර එත්දි රෑ හත විතර ඇති . මේ සිද්ධිය වුනේ මීට සතියකට විතර ඉස්සර වෙලා , මේ පළාතේ තිබෙන ප්‍රධානම හයිවේඑකේ වැදගත්ම තැනක තිබෙන පාළමක ,  ට්‍රක් එකක් හැප්පිලා ලොකු විනාශයක් වුනා , ඒ නිසා එම ස්ථානය මගහරින්න අතුරු මාර්ග යොදා ගත්තත් අපෙ වාසනාවට මේ දවසේ ඒ අතුරු මාර්ගයත් අවහිර වුන නිසා තමයි මේ අත්දැකීමට මුහුණු දෙන්න වුනේ , අත්දැකීම නරකම නැතත් , ඒ අතදැකීම ඔස්සේ ටිකක් අවදානම් විය හැකි රෝග තත්ත්වය ගැන පෝස්ට් එකක් සොඳුරු සුව අසපුවට එකතු කරන්න පුළුවන් බව හැඟුනා.

ලෙඩේ නම් Budd-Chiari Syndrome සමහර විට අහල පුරුදු නැතිව ඇති. කොහොම වුනත් මම උත්සාහ කරන්නම් මේ වැඩිය ප්‍රසිද්ධ නැති ලෙඩේ ගැන පුළුවන් තරම් සරළව විස්තර කරන්න. ( හැබැයි සොඳුරු සුව අසපුව තුලින් මේ ලෙඩ රෝග ගැන විස්තර කරන්නෙ , හැම කෙනෙකුටම තේරුම් ගන්න පුළුවන් වෙන්න. එතැනදි බොහොම සරළ තැන ඉඳළ පටන් ගන්න වෙනවා , අන්න ඒ නිසාම මේ ලිපි  සිංහල බ්ලොග් අවකාශයේ ඇති බොහොමයක් ලිපි වලට වඩා දිගින් වැඩි වේවි. එ් පිළිබඳව සමාවන්න)

මේ රෝග තත්ත්වය කෙළින්ම සම්බන්ධ වෙන්නේ අක්මාවට නිසා මුලින්ම අපට සිදුවෙනවා අක්මාව ගැන දළ අවබෝධයක් ලබා ගන්නට.

මේ රූප සටහන පේන විදියට , අපේ උදර කුහරයේ ඉහළ දකුණු පැත්තට බර වෙන  විදියට තමයි අක්මාව පිහිටල තිබෙන්නෙ. සම ගාවට ඉන්න විශාලම ඉන්ද්‍රිය විදියට පමණක් නොවේ , මෙයා කරන කාර්යයන් ගැන කතා කළත් , මෙයාගේ ව්‍යුහය  ගැන කතාකළත් අක්මාව කියන්නේ සුවිශේෂි ඒකකයක්. හුඟක්ම සවිස්තරව නැතත්, අපි ඒ ගැනත් ටිකක් හරි කතා කරන්න වෙනවා. නැත්නම් කියන්න යන ලෙඩේ ගැන හරි වැටහීමක් ගන්න අමාරුයි. 

මෙන්න ඒ විශේෂ වෙනස්කම් කිහිපයක්. සාමාන්‍යෙයන් ඉන්ද්‍රියක් වෙතට රැධිරය ගෙන එන්නෙ “ධමනියක්‘  , උදාහරණයක් කිව්වොත් , වකුගඩු වෙතට ලේ අරගෙන එන්නෙ “වෘක්ක ධමනිය Renal artery “ විතරයි, නමුත් අක්මාව වෙතට රැධීරය ගෙන එන්නේ “අක්මා ධමනිය Hepatic artery“ විතරක් නොවෙයි. "ශිරාවකුත්“ අක්මාව වෙතට රැධීරය අරන් එන්වා. ඒ තමයි “ යාකෘතික (අක්මා) ප්‍රතිහාර ශිරාව Hepatic Portal Vein “ . 

අපේ ආමාශයෙන්  , අන්ත්‍රවලින් උරා ගන්නා පෝෂ්‍ය පදාර්ථ / ඖෂධ / මධ්‍යාසාර සහ රසායනික අඩංගු රැධීරය අන්ත්‍ර වල සිට අක්මාවට ගේන්නේ මෙන්න මේ , Hepatic Portal Vein “ එකෙන්.  

නමුත් , අක්මාවෙන් ඉවතට ,ඒ කිවේ අක්මාවේ සිට හෘදය වෙතට ලේ අරගෙන යන්න තියෙන්නේ “යාකෘතික ශිරාව“ Hepatic vein එක විතරයි .  

මේ  අනුවම හිතා ගන්න පුළුවන් නේද අක්මාව ඇතුලේ කොහොම ලේ සැපයුමක් , ඒ වගේම ඒ ලේවලින් වැඩ ගන්නවා ඇත්ද කියන එක.
මේ විදියට දිසා දෙකකින්ම ලැබෙන රැධීරය යොදා ගනිමින් අක්මාව කරන රාජකාරි අතරේ ප්‍රධාන කිහිපයක් විදියට මෙන්න මේව කියන්න පුළුවන්.
  • ආහාර ජීරණයේදි වැදගත් වන ( මේද ජීරණයෙදි) “පිත“ Bile නිශ්පාදනය කිරීම
  • ශරීරයට අවශ්‍ය කොලෙස්ටරෝල් නිශ්පාදනය 
  • ලේ කැටි ගැසීමට අවශ්‍ය ප්‍රෝටින නිපදවීම
  • ලේ වල ඇති වැඩි පුර සීනි ගබඩා කර ගැනීමට උපකාර වීම
  • බිඳුනු රතු රැධීරාණාණ වල හිමොග්ලොබින් වලින් අවශ්‍ය යකඩ ඉවත් කර ගබඩා කර ගැනීම
  • රැධීරයේ ඇති විවිධ ධූලක / විෂ වර්ග / ඖෂධ දුර්වල කරමින් විය හැකි අපදාවන් අඩු කිරීම 
  • ලේ වල ඇති විෂබීජ විනාශ කිරීම
ඔය සියළුම කාරණා කරන්නට අක්මාව ඇතුළෙ බොහොම ලස්සන සැකැස්මකට පිළියෙල වුනු සෛල ගණනාවක් තිබෙනවා. ඇත්තටම මේ සෛල ගොණු විදියට , හරියට දූපත් වගේ රටාවකට නිර්මාණය වෙලා. ඔය දූපත් අතරින් ගලායන ගඟේ අතු විගේ තමා අක්මාව තුලින් ලේ ගමන් කරන්නේ . ඔක්කොම දූපත් මැදි කරගෙන , බොහොම පිළීවෙලකට ලේ ගලා ගෙන ඇවිත් , ගෙනාපු දේවල් දූපත් වලට දීලා , දූපත් වල නිපදවපු දේවල් ආයෙත් එකතු කරගෙන අක්මාවෙන් ඉවත් වෙලා යාකෘතික ශිරාව ඔස්සේ , ප්‍රධාන ශිරාව ඔස්සේ හෘදය පැත්තට එන ආකෘතියක් තමයි තිබෙන්න්. 

මේ කොග්ගල ඔය ..
මේ ටික ලියාගෙන යත්දි මට මතක් වුනේ මගේ පාසල්වියේ  වැඩිම කාළයක් ගත කළ  කොග්ගල ඔය . එදා නම් බොහොම සුන්දර දූපත් ගණනාවක් වට කරමින් සුන්දරව ගලා ගිය කොග්ගල ඔය හරියට අක්මාව තුල ලේ ගලා යාම වගේ .

 එක් රිද්මයකට ඉහළ ප්‍රෙද්ශ වල ඉඳල අතු ගණනාවක් ඔස්සේ එන වතුර , සියළුම දූපත් වලට එක විදියට සළකමින් ගලාගෙන අවුත්  වට පිටවාවෙ ඉන්න බොහොමයකට මාළු , ඉස්සන් අස්වැන්නක් ලබා දෙමින් , කතළුවේ පාළම ගාවින් මුහුදට එකතු  වුනා. 

නමුත් සමහර කාළෙට තකළුවේ මෝය කට වැලි වලින් වැහුණා , ( මම මේ කියන්නේ 1989-90 විතර , මොකද දැන් එතන ගල්පරයක් දාල අළුත් විදියට නිර්මාණය කරල නොවැ) . අන්න එහෙම වැහුණු කාළෙට ඔයේ රිද්මය වෙනස් වෙනවා . වතුර මට්ටම උඩට එනවා , කතළුව , ගිණීවැල්ල පැත්තේ  බිම් යටවන්න පටන් ගන්නවා , අර දූපත් වලට වතුර දාල ඔරු පාරු යා ගන්න බැරි තත්ත්වයකට එනවා . අපි මේ කතා කරන්න හද තත්ත්වයේදිත් සිදු වෙන්නේ මෙන්න මේ විදියට “මෝය කට“ බ්ලොක් වීමක් .

ඒ කීවේ , අපි කීව අක්මා ශිරාව යම් හේතුවක් නිසා අවහිර වීම. මතකයිනේ අපි කීව අක්මාව දිසාවට අක්මා ධමණියෙනුත් , ප්‍රතිහාර ශිරාවෙනුත් ලේ අරන් ආවට අක්මාවෙන් ලේ ඉවතට (හෘදයට) ගෙන යන්න ඉන්නේ අක්මා (යාකෘතික) ශිරාව විතරයි කියල. ඔන්න මේ ලෙඩේදි එ්ක අවහිර වෙනවා . දැන් මොකද වෙන්නේ ? ... හරියට කොග්ගල ඔයේ මෝය කට වැහුණ වගේ , නැත්නම් හයිවේ එකේ Exit ramp එක බ්ලොක් උනා වගේ . මොකද ලේ ගලා ආවට යන්න ක්‍රමයක් නැහැ . ප්‍රතිපලේ අක්මාව තුල සහ එයින් ලේ අරන් එන නාල තුල , ප්‍රධානවම යාකෘතික ප්‍රතිහාර ශිරා පද්ධතිය තුල අසාමාන්‍ය ලෙස පීඩනය වැඩි වීම , අපි ඒක වෛද්‍ය විද්‍යාත්මකව නම් කරන්න‍ෙPortal hypertension කියල.

පිංතුරය www.onmedica.com
මේ සිදුවීමත් එක්ක රෝග ලක්ෂණ ගණනාවක් මතු වෙනවා , අපි පිළිවෙලටගියෝත්  , මේ පෝර්ටල් හයිපර්ටෙන්ෂන් තත්ත්වය නිසා බඩේ වතුර එකතු වෙන්න පටන් ගන්නවා (Ascites) ඇත්තටම මේ එකතු වෙන්නේ , අක්මාවට යන ප්‍රධෘන පාර බ්ලොක් වෙලා පීඩනය වැඩි නිසා , “අතුරු පාරවල් වලින් මාරු වෙලා “ යන රැධීරයේ තිබෙන ප්ලාස්මාව කොටසක් . 

මේ එක්කම පීඩනයේ බලපෑම ආහාර මාර්ගයට එනවා. මොකද ආහාර මාර්ගයේ ඉවත් වන ලේ අක්මාව වෙතට අරන් ගිය බට වල දැන් පීඩනය වැඩියිනේ . ඒ වැඩි පීඩනය දැන් අන්ත්‍රවල , උගුරේ ගලනාලයේ වගේ තැන්වල ලේ “මළු වගේ “ තනමින්  (අර්ශස්වල වගේ)  Esophageal varices හදනවා. සමහර විට මේව පුපුරළා ලේ ගලා යාම් සිදුවන්නටත් පුළුවන්.

පිංතූරය ගත්තේ illinois-liver.orgවෙතින්
මේ වෙනකොට ටිකෙන් ටික අක්මාවේ සාමාන්‍ය කටයුතු කරගන්නට බැරිවෙනවා , අක්මාව ටිකෙන් ටික ඉදිමෙන්නට පටන් ගන්නවා Hepatomegaly  . ඒ එක්ක බඩේ දකුණු පැත්තේ උඩට වෙන්නට ඉදිමීමක් එක්ක , වේදනාවක් මතුවන්නටත් පටන් ගන්න පුළුවන් . අක්මාවේ ප්‍රෝටින නිශ්පාදන වැඩේ දුර්වල වීමත් එක්ක , ලේ වල ප්‍රෝටින ප්‍රමාණය වෙනස් වෙනවා , ප්‍රතිඵලය විදියට ලේ කැටි ගැහෙන්න ගත වන කාළය හුඟක් වැඩිවෙන්න පුළුවන්. 

ඒ වගේම පාදයේ විළුඹ හරියේ ඉදිමීමක් මතුවෙන්න (Ankle edema) පටන් ගන්නවා . , ඒ විතරක්ද , බඩේ , කකුල වල ඉහළ මෙතුවක් නොපෙනුුන නහර මකුළු දැල් වගේ පේන්න පටන් ලන්නවා. සමහර විට මේ විළුඹ හරියේ සුව නොවන තුවාල ඇතිවෙන්නටත් ඉඩක් තිබෙනවා.

තව ටික දිනක් යත්දි , අක්මාව තුල සෛල මිය යමින් , තුවාල වල කැළැල් හැදෙනව වගේ දෘඩ ස්වභාවයක් අක්මාව තුල නිර්මාණය වෙනවා . දැන් දොස්තර මහත්තය කියනවා ලෙඩාට සිරෝසිස් ! . ඇඟ කහපාට වෙලා සෙංගමාලය රෝගයෙදි වගේම ඇස් , නියපොතු පවා කහපාට වෙන්නට පටන් ගන්නවා(Jaundice) . 

මේ අවස්ථාව වෙත්දි රෝගියා බොහොම දුර්වල , ඇඟ පත කෘශවීගිය ,බඩ , විළුඹ ,  ඉදිමුණු, වරින් වර වමනය (ලේ සමඟ හෝ නැතිව ) දමන බොහොම දුර්වල “රෝගියෙක්“ බවට පත්වෙලා. සමහ විට තව්ත දින කිහිපයකදි අක්මාවේ ක්‍රියාකාරිත්වම සම්පුර්ණයෙන්ම නැවතිලා Liver failure  , මේ සියළු බලපෑම් මොළයට යොමු වීමත් සමඟ Hepatic encephalopathy කියන තත්ත්වය නිසා සිහිකල්පනාවත් නැතිවෙලා බොහොම අවාසනාවන්ත මරණයකට පත්වන්නටත් යම් ඉඩක් තිබෙනවා.

ඒත් , මෙතුවක් දුරට යන්න හේතුවුනු , අර යාකෘතික ශිරාව අවහිර වීම වෙන්න පුළුවන් කොහොමද ? 

හේතු ගණනාවක් තිබෙනවා , යම් හඳුනාගත් සහ නොදන්නා හේතු සාධකයක් නිසා ( පසුව මේ සාධක ගැන කතා කරනවා) ලේ කැටියක් අසාමාන්‍ය ලෙස හැදිලා , ශිරාවේ මග හරස් කළොත් ! , ඒ විතරක් නොවෙයි ඔය අපි කතා කළ ශිරාව ආසන්නයේ තැනක ලොකු ආසාදනයක් infection එකක් ඇවිත් , ඉදිමිලා ශිරාව අවහිර කළොත් , ඒ වගේම පිළිකාවක් හෝ පිළිකාමය නොවන ගෙඩියකින් tumour මේ යාකෘතික ශිරාව අවහිර කළොත් ! , මෙන්න මේ ඕනම අවස්ථාවක අප මෙ කතා කරන Budd-Chiari Syndrome ඇති වෙන්නට පුළුවන්. 

මේ කාරණා අතරින් පිළිකාමය  හෝ නොවන ගෙඩි සහ ආසාදනයක් නිසා අවහිර විය හැකි බව සරළව තේරුම්  ගියත් , අර ලේ කැටි මඟින් ශිරාව අවහිර විය හැකි අවස්ථා මොනවද කියල ටිකක් දැන ගන්න එක වටිනවා.

මෙන්න මේ තත්ත්ව වල සිටින්නන් මෙ විදියට අනපේක්ෂීත ලේ කැටි මඟින් අක්මා ශිරාව අවහිර වීමට අවදානමක් තිබෙනව. හැබැයි මේ කියන තත්ත්ව තිබෙන හැමෝටම එහෙම වෙන්නේ නැහැ . ඒ වගේම මේ කිසිදු හේතුවක් නැතිව ලේ කැටි හැදිලා මේ  අවස්ථාවට පත්වෙන අයත් ඉන්නවා . නමුත් යම් අවදානමක් තිබෙන බව දැන ගන්න එක වටිනවා.
කවුද මේ  අවදානම් කාණ්ඩ .
  • පොලිසයිතීමියා රෝගය හෝ ඒ ආශ්‍රිත රැධීර රෝග ඇති පුද්ගලයන්
    • (පොලිසයිතිමියා කියන්නේ අසාමානා්‍ය ලෙස රතු රුධිරාණූ නිශ්පාදනය වීම නිසා  , ලේ වල රතු රුධිරාණු ඝණත්වය ඉක්මණින් ඉහළ යන තත්ත්වයක්, මේ අයගේ ඇඟෙන් නිශ්චිත කාළයකට වතාවක් ඉවත් කිරීම  කරන්නට ඕන වෙනවා .)
  • සිෆිලිස් (කියවන්න 34 වන ලිපිය) , ක්ෂයරෝගය වැනි රෝග වලින් කාළයක් තිස්සේ පෙළන අය 
  • අක්මාව ආශ්‍රිත රෝග හෝ අනතුරු වලට ලක්වූවන්
  • මුඛ උපත්පාලන පෙති ගන්නන්
  • ගර්භනී සහ පශ්චාත් ගර්භණී අවධියේ මවුවරුන්
තදබල උදර වේදනාවක් , දුර්වල බවක් එක්ක එන රෝගියා පිළිබඳව තොරතුරු සොයා බැලීමෙන් පස්සේ , කෙරෙන සාමාන්‍ය දේහ පරික්ෂාව සහ රැධීර පරික්ෂණ කිහිපයක් ඔස්සේ රෝගියාට අක්මාව ආශ්‍රිත රෝග තත්ත්වයක් ඇත්දැයි හඳුනාගන්නට වෛද්‍යවරයාට පුළුවන්. ඉන් පසුව , තව දුරටත් කෙරෙන ස්කෑනින් සහ විශේෂිත පරික්ෂණ ඔස්සෙ හරියටම මේ Budd-Chiari Syndrome තත්ත්වයම දැයි නිශ්චිතව දැන ගන්නට පුළුවන්. 

මේ විදියට රෝග තත්ත්වය හඳුනාගත්තට පසුව කරන ප්‍රතිකාර ක්‍රම , රෝගයේ මට්ටම , අවහිර වී අැති ස්ථානය සහ තවත් කාරණා කිහිපයක් මත වෙනස් වෙන්නට පුළුවන්. නමුත් ඖෂධ මඟින් අවහිරය මඟ හරවා ගැනීමට උත්සාහ කිරීම , ශල්‍යකර්මයක් මඟින් අවහිර වුනු ශීරාව මඟ හරිමින් ලේ අක්මාවෙන් හදවතට ගමන් කිරීමට වෙනත් අතුරු මාර්ගයක් සැකසීමක් , (Transjugular Intrahepatic Portal-systemic Shunting)  හෝ උපරිම අවස්ථාව විදිටය අක්මා බද්ධයක් සිදු කිරීම කියන ප්‍රතිකාර ක්‍රම දැනට සිදුකෙරෙනවා.

හඳුනාගැනීම ප්‍රමාද වීම සහ නිසි ප්‍රතිකාරය මුල් අවස්ථාවේ නොලැබීම අවාසනාවන්ත තත්ත්වයකට මඟ පාදන්නට පුළුවන් වුනත් , මුල් අවස්ථාවේදීම හඳුනාගෙන නිවැරදි ප්‍රතිකාරය ලබා ගත්තොත් , එවන් අවාසනාවන්ත තත්ත්වයකට පත්වීම සීමා කරගන්නට පුළුවන්.

එහෙම නම් කැනඩාවේ , ටොරොන්ටෝවේ ප්‍රධාන අධිවේගී මාර්ගයකින් පටන් අරන් , ලංකාවේ දකුණූ පළාතේ සුන්දර කොග්ගල ඔය දිගේ ගමන් කළ මේ Budd-Chiari Syndrome කතාව මෙතැනින් නිමා කරනවා . 

සොඳුරු සුව අසපුව තුලින් ලියැවෙන මේ ලිපි මඟින් කරන්නට උත්සාහ කරන්නේ , අපට වැළඳිය හැකි රෝග සහ සෞඛ්‍යමය වශයෙන් සැළකිළිමත‍් විය යුතු කරුණූ පිළිබඳව , සිංහල බ්ලොග් කියවන සාමාන්‍ය පාඨකයන් වෙත යම් මූලික අවබෝධයක් ලබා දීම පමණකි.  මක් නිසාද සෞඛ්‍ය අධ්‍යාපනය යනු ප්‍රජාවක සෞඛ්‍ය ප්‍රවර්ධනයේ වැදගත්ම පියවරක් වන බැවිනි.  
මෙහි කිසිඳු අවස්ථාවක රෝග විනිශ්චයන් කිරීමට හෝ වෛද්‍ය අනුමැතියකින් තොරව ඖෂධ ලබා ගැනීම් සඳහා දිරි ගැන්වීමක් නොකෙරෙන අතර , ලබා ගත් දැනුම මත හෝ තමාගේ රෝග ලක්ෂණයක් පිළීබඳ සැක සහිත අවස්ථාවක පවුලේ වෛද්‍යවරයා මඟින් නිසි ප්‍රතිකාර සහ උපදෙස් ලබා ගැනීමේ වැදගත්කම නැවත අවධාරණය කරමි.

ඔබ සැමට සුව සතුට පිරි දිනයක් !

තවම වයලින් ගහන රොජර් !

$
0
0
රෝජර් ෆ්‍රින්ච් වෘත්තීමය වයලීන වාදකයෙක් . නමුත් මෑත කාළයක පටන් ඔහුට වයලීනය නිසි ලෙස වාදනය කරගන්නට බැරිව යනවා . හේතුව අතේ ඇතිවූ අසාමාන්‍ය ගැස්මක්. මේ අසාමාන්‍ය ගැස්ම නිසා වයලීනය මත  වයලීන අලුව ( bow එක ) ස්වර රටා අනුව නිවැරදි අයුරින් ගෙන යන්නට බැහැ. මෙය ඔහුගේ වෘත්තීය දිවියට කණකොකා හඬලන්නට පෙර මඟ සළකුණක් බව හඳුනාගත් ඔහු වෛද්‍ය පරික්ෂණ කිහිපයකට යොමු වෙනවා. මෙතැනදි කළ පරික්ෂණ වලදි හඳුනාගන්නෙ මොළයේ පතුලෙ වර්ධනය වන යම් ගෙඩියක් (Tumour) මඟින් නිකුත් කරන අසාමාන්‍ය විද්‍යුත් කම්පනයක් , ඔහුගේ අතේ ඇති ගැස්මට හේතු වන බව . 

තීරණය , මේ අසාමාන්‍ය කම්පනය පාලනය  කරන්න නම් , මොළය පතුලේ අදාල ස්ථානයට ඇතුළු කරන්නට ඕන. එම ඉලෙක්ට්‍රොනික උපකරණයක් මඟින් මෙම අසාමාන්‍ය විද්‍යුත් ස්ඵන්දනය යථා තත්ත්වය  ගන්න ඕන.  
ප්‍රශ්නය , කොහොමද හරියටම දැන ගන්නෙ මෙම උපකරණය නිවැරදිම ස්ථානයට ගමන් ගත්තා කියල , උත්තරයට , ඒකට නම් ස්කෑනින් පහසුකම් සහිත වෛද්‍ය තාක්ෂණික පරිගණක තිරයක් මඟින් එය කර ගතහැකි . ඒත් අදාල උපකරණය හරියටම මෙම අසාමාන්‍ය ගැස්ම පාලනය කරන්නට හැකි වේද ? එහෙම නැත්නම් උපකරණයේ පිහිටීමත් එක්ක ලැබෙන ප්‍රතිපලය වෙනස් වේද ?  ප්‍රශ්න ගණනාවක් ! 

ගැටළුව පිළිබඳ සාකච්ඡා කරන වෛද්‍යවරුන් , ස්නායු ශල්‍ය කණ්ඩායම , වෛද්‍ය ඉංජිනේරු කණ්ඩායම අමුතුම තීරණයකට එනවා . 

“අපි ශල්‍යකර්මය කරන අතරේ ඔහුට වයලීනය වාදනය කරන්නට දෙමු , ඒ වාදනයට අදාලව වයලීන බෝ එකේ සිදුවන කම්පනයන් තිරයකට ගත්තොත් , අපට බලාගන්න පුළුවන් , මෙ ඉලෙක්ට්‍රෝඩය හරියටම නිවැරදි තැනට ගියාද , ඒ එක්කම මේ අසාමාන්‍ය ගැස්ම කොයිතරමය පාලනය වනවා ද කියන එක. ඒ ඔස්සෙ අපට පුළුවන් වේවි , ඉතාමත් සියුම් විදියට මේ උපකරණය ස්ථාන ගත කරමින් ,  ටියුමර් එක නිකුත් කරන විද්‍යත් කම්පනය බිඳ දාන්න. “ , 

එකඟයි මේ අළුත් අත්දැකීමට මුහුණ දෙන්නට සියල්ලන්.

ශල්‍යකර්මය සහ අදාල ඉලෙක්ට්‍රෝඩය ඇතුළු කරන දවස . රෝජර් ශල්‍යාගාරයට එන්නෙ සාමාන්‍ය ශල්‍ය රෝගියෙක විදියටම . නමුත් විශේෂයක් . ඒ ඔහුට සිදු වෙනවා , ශල්‍ය ඇඳමත දිගා වෙලා වයලීනය වාදනය කරන්නට පුරුදු ලෙසින්ම.
දැන් ඔහු වයලීනය වාදනය කරනවා , ඔහුගේ අතේ , ඇත්තටම වයලීන බෝ එකේ ඇති වන ගැස්ම පරිගණක තිරයක ප්‍රස්ථාර ගත වෙනවා.  ඒ ප්‍රස්තාරය දිහා වගේම , මොළය තුලට ඉලෙක්ට්‍රෝඩය ගමන් කරන ආකාරය පෙන්වන තිරයත් දෙකම බලමින් ශල්‍ය වෛද්‍ය කණ්ඩායම ඉලෙක්ට්‍රෝඩය ඇතුළු කරනවා , සීරු මාරු කරනවා . ඔවුන්ට පෙනනෙවා ඉලෙක්ට්‍රෝඩයේ සීරුමාරු කිරිමත් එක්ක , අතේ තිබුණු අක්‍රමවත ගැස්ම ක්‍රමයෙන් අඩුවී , නැතිවී යන බව . සාර්ථකයි , ශල්‍යකර්මය සාර්ථකයි . සියල්ලලන්ටම සතුටුයි . වැඩියෙන්ම රෝජර්ට සහ ඔහුගේ සංගීත කණ්ඩායමට . මොකද දැන් ආයෙත් රෝජර් වයලීනයේ සුන්දර නාද රටා ලොවට මුසු කරනවා , හිතේ වගේම අතේ තිගැස්මකුත් නැතිව. ( වීඩියෝව බලන්න )
මේ කතාව මට කියවන්න ලැබුණේ මෙන්න මෙතැනින් 
http://www.dailymail.co.uk/news/article-2721342/Concert-violinist-diagnosed-tremor-plays-career-saving-brain-operation-help-surgeons-locate-exact-spot-fit-implant.html



පසු සටහන : හැමදාමත් “මාගල් වගේ“ ලිපිම  එකතු වන නිසා , හිතුන පොඩි “පැදුරු වගේ“ ලිපිත් අතරින් පතර එකතු කරන්න. ( ඒත් “මාගල් ලියන පුරුද්දට“ , පැදුරත් මාගලක් වුනාද මන්දා)

තවත් පණිවිඩයක් , සිංහල බ්ලොග් පරිශ්‍රය තුල බොහොම සුන්දර මානුෂීය කතාබහක යෙදුනු , කතුවරියක ,වෛද්‍යවරියක  වූ ඇය  , ඒ සොඳුරු කතා බහ සිංහල බ්ලොග් පරිශ්‍රයේ සීමාවෙන් පිටතට ගෙනයමින්  “අනිත්කොණ “ නමින් පොතක් එළි දක්වන්නට සූදානම් !  සිංහල බ්ලොග් පරිශ්‍රෙයේ හඳුනාගත් සහෘද ලේඛිකාවට, හෘදයාංගම සුබ පැතුම්!

එක් කිරීමක් :
මේ සිදුවීම හා සමාන වූ Black box කතා මාලාවේ Sing like me කතාංගය මෙතැනට එක් කරන්නෙ , “හිරු“ මේ ගැන කොමෙන්ටුවකින් සඳහන් කළ නිසා. රොජර්ට ඇත්තටම මුහුණ දෙන්නට වන දේට සමාන සිදුවීම පුංචි තිරයේ මතුවූ අපූරුව නරඹන්න. ( මෙම වීඩියෝව සමහර රටවලට නොපෙනනවාදැයි නොදනිමි)



හොර දොස්තරද ? හොඳ දොස්තරද ?

$
0
0
“පණ එපා කියල දුවනව“ කිව්වත් , ඒ දුවන්නෙත් පණ බේර ගන්න නෙවැ. ඒ කියන්නේ ඕනම ජීවියෙක්ට වඩාත්ම වටින දේ තමන්ගෙ ජීවිතය. ඉතින් ඒ “පණ වගේ රැක ගන්න ජීවිතයේ “ සාමාන්‍ය රිද්මයට යම් අසාමාන්‍ය වෙනසක් වුනොත් , එතැන ලෙඩක්, කායික හෝ මානසිකව ඇතිවූ මේ ‘‘වෙනස“ රෝගයක් , දුබලතාවක් , සහලක්ෂණයක් ,...ඔය විදියට මොන මොන දේ කිව්වත් ඒක “ලෙඩක්“ !


රජෙක් වුනත් ලෙඩෙක් වුනොත් !

ලෙඩක් හැදුනොත් මොකද කරන්නේ ? කරන  දේවල් බොහොමයක් තියෙන්න පුළුවන් , නමුත් යම් අවස්ථාවකදී ,“රෝහල“ නැත්නම් “සායනය“ වෙත යාම සිදුවන්නට පුළුවන්. ලෙඩේ හොඳ කරගන්න යන මේ ගමනේ “රෝගියා “ පැමිණෙන්නෙ  “සෞඛ්‍ය ආයතනයකය “ , මේක රෝහලක් , නැත්නම් ඩිස්පැන්සරිය හෝ සායනය වෙන්නත් පුළුවන් . මේ කොතැනක වුනත් රෝගියාට අපේක්ෂීත ප්‍රතිකාරය , උපකාරය ලබා දෙන්නේ “සෞඛ්‍ය කණ්ඩායමක්“ එක්වීමෙන් . 

මේ සෞඛ්‍ය කණ්ඩායම තුලදි රෝගියාගේ රෝග තත්ත්වය නිර්ණය කිරීම ,ඖෂධ නියම කිරීම කියන මූලික කාරණය ඉටු කරන්නෙ වෛද්‍යවරයා. එහෙම නම් අද මේ ලිපියේ කතා නායකයා වෙන්නේ මෙන්න මේ වෛද්‍යවරයා . මම මෙතැනදි වෛද්‍යවරයා විදියට හඳුන්වන්නේ රජයේ රෝහලේ ඉන්න බටහිර වෛද්‍ය ප්‍රතිකාර කරන “දොස්තර මහත්තයා“ විතරක් නොවෙයි , ආයුර්වේද බෙහෙත් ශාලාවේ ප්‍රතිකාර කරන ආයුර්වේද වෛද්‍යවරයා , නැත්නම් හෝමියෝපති ප්‍රතිකාර කරන “දොස්තර මහත්තය“ ත් එයට එක් කරමින් තමයි මේ ලිපිය තුල කතා කෙරෙන්නේ.(මෙම සටහන තුල පාරම්පරික වෙද මහතුන් පිළිබඳ කිසිවක් කතා නොකරමි) 

හොර දොස් තරද ? හොඳ දොස්තරද ?

අද ලංකාවේ බොහෝ ප්‍රෙද්ශවල ඉහත කී ආකාරයේ යම් වෛද්‍යවරයෙක් හමුවී ප්‍රතිකාර නිර්දේශ කරවා ගැනීමේ පහසුකම තිබෙනවා . ඒ රජයේ රෝහලකදි පමණක් නොවේ , බෙහෙත් ශාලාවකදි , සායනයකදි , නැත්නම් සහ බහුලවම පෞද්ගලික වෛද්‍ය ආයතන වලදිත් මෙලෙස වෛද්‍යවරයෙක් හමුවීමේ හැකියාව ලැබෙනවා. 

නමුත්  , අද දවසේ පුවත් පත් ඔස්සේ කියවන්නට ලැබෙන ආරංචි අනුව ලංකාව පුරා හොඳ වෛද්‍යවරුන් ( එ් කීවේ රජයේ නීති රීති අනුව , අදාල වෛද්‍ය සභා තුල ලියාපදිංචිය ලබා වෘත්තීය කිරීමට අනුමැතිය ලත්) වගේම “හොර වෛද්‍යවරුන්“ සෑහෙන ප්‍රමාණයක් ඉන්නා බව කියැවෙනවා . අද මේ ලිපිය ලියන්නට හේතු සාධකය වුනෙත් මේ “හොඳ වෙදුන් සහ හොඳ වෙදුන් ගැන කතාව“ 

හොඳ වෙදා සොයා ගැනීම

පිංතූරය www.affordablenursingschools.com 
දැන් ප්‍රශ්නේ මේකයි කොහොමද අපි “හරි දොස්තර මහත්තයයි“ , “හොර දොස්තර මහත්තයයි “ වෙන් කරගන්නේ ? මේක අපේ රටේ බොහොමයක් අයට තිබෙන ප්‍රශ්නයක් . ඒ නිසා අද ලිපිය තුලින් හුඟක් සංකීර්ණ කාරණා ගැන තැනිව මේ “පොඩි ප්‍රශ්නේ ගැන“ කතා කරමු.

ඇත්තටම කවුද දොස්තර මහත්තයා ? 

ඉස්පිරිතාලේ බෙහෙත් දෙන මහත්තයා !
ඉස්පිරිතාලේදි සුදු පාට කෝට් එක දාගෙන ඉන්න කෙනා !
වෙද නලාව බෙල්ලෙ දාගෙන ඉන්න කෙනා !
හංදියේ ඩිස්පැන්සරියේ ඉන්න මහත්තයා !
අර ටීවී එකේ ඇවිත් බෙහෙත් ගැන කතා කරන මහත්තයා  !
මේ පත්තරේ ඇඩ් එකේ ඇඟ කෙට්ටු වෙන්න බෙහෙත් එවන මහත්තයා! 

ඔය වගේ නානාප්‍රකාර මහත්තුරු නෝනලා ඇති . ඒත් අපි කොහොමද හරියටම ඔබ හමුවන වෛද්‍යවරයා ලංකාවේ නීතීරීති වලට අනුකූලව වෘත්තිය කරන්නට සුදුසුකම් ලත් ඇත්තම “දොස්තර මහත්තයෙක්ද කියල “ හඳුනගන්නේ ?  

මේ හඳුනාගැනීමෙදි ඉස්පිරිතාලේ සිටීමවත් , සුදුකෝට් එකක් නැත්නම් වෙදනලාවක් පෙන්වීම හරි , ජනමාධ්‍යයකින් “වෛද්‍යවරයෙක්“ බව කීම පමණින්ම අදාල පුද්ගලයා අපට අවශ්‍ය “සුදුසුකම් ලත් වෛද්‍යවරයා“ කියන නිගමනයට එන්න බැහැ . 

(විශේෂයෙන්ම රෝහලේදි සුදුපාට කෝට් එකක් දාගෙන සිටීම හෝ වෙදනලාවක් භාවිත කිරීම කරන්නෙ , වෛද්‍යවරයා පමණක්  නොවේ . එය තවත් සෞඛ්‍ය වෘත්තීන් සහ සෞඛ්‍ය වෘත්තිය සඳහා ඉගෙන ගන්නා සිසුන් කණ්ඩායම් ගණනාවක් භාවිත කරන පොදු අවස්ථා දෙකක්.) 

අවදානම් කළාපය

සාමාන්‍යෙය තත්ත්වය බැලුවොත් , රජයේ රෝහලක , සායනයකදි රෝගියෙක් “සුදුසුකම් නොලත් වෛද්‍යවරයෙක්“ මඟින් රෝග නිර්ණය කරගැනීමේ සහ ප්‍රතිකාර නියම කර ගැනීමේ  අවස්ථාව අඩුයි . හේතුව රජයේ සෞඛ්‍ය ආයතන වලට බඳවා ගැනීමේදි යම් නිශ්චිත සුදුසුකම් ගණනාවක් පිළීබඳව සොයාබලන නිසා. නමුත් පෞද්ගලික මට්ටමින් කරන සෞඛ්‍ය ආයතන තුලදි මෙම තත්ත්වයේ වෙනස්කම පවතින්නට පුළුවන්(පෞද්ගලික වෛද්‍ය ආයතන පනත ක්‍රියාත්මක වුවත්). ප්‍රධාන පෞද්ගලික රෝහල් වල මෙම තත්ත්වය , රජයේ රෝහලකට ආසන්න වගකීමක පැවතියත් , කුඩා මට්ටමමින් තැනින් තැන බිහිවන පෞද්ගලික සායන වල තත්ත්වය පිළිබඳව රජයේ වගකිව යුතු ආයතන වගේම ප්‍රජාවත් අවධානය යොමු කළ යුතු වෙනවා. 

මෙහෙම කියන්නට හේතු සමහරක් මා පෞද්ගලිකවම දැක ඇති , විඳ ඇති සිදුවීම්. උදාහරණ කිහිපයක් ලෙස...

සමහර පෞද්ගලික රෝහල් වල ,  විශේෂීත සායනවල පවා  , අදාල සුදුසුකම්ලත් වෛද්‍යවරයා වෙනුවට , වෛද්‍ය සිසුන් රෝග ප්‍රතිකාර නියම කරන අවස්ථා , 

වෙනත් වෛද්‍ය සේවාවක පුහුණුව ලබා අදාල නොවන වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන අවස්ථා ( උදාහරණයක්, ආයුර්වේද / හෝමියෝපති වෛද්‍යවරයෙක් , බටහිර ඖෂධ ප්‍රතිකාර ලබා දෙන අවස්ථා) , 

සමහර පෞද්ගලික වෛද්‍ය සායන වල නාම පුවරුවේ දැක්වෙන නම සඳහන් වෛද්‍යවරයා වෙනුවට , ඔහු/ඇය දැනුවත්ව ඔහුගේ / ඇයගේ දෙවැන්නා ලෙස පෙනී සිටිමින් ප්‍රතිකාරකරණයේ යෙදෙන වෛද්‍ය වෘත්තියේ නොවන වෙනත් පුද්ගලයන් , 

ඒ වගේම , කිසිඳු ශල්‍යාගාර තත්ත්වයක් , විෂබීජහරණය කළ පරිසරයක් නැති පෞද්ගලික සායන කාමරයක සමහර සැත්කම් කෙරෙන අවස්ථාවන් , 

හදිසි අවස්ථාවකට කිසිදු සූදානමක් (emergency tray ,Oxygen)  නැති පෞද්ගලික “කාමර“ තුල ළඳරුවන්ට නික්ෂේපණ ලබා දෙන (යම් ඖෂධයක් දේහ ගත කිරීමේදී , විශේෂයෙන්ම නික්ෂේපණ දේහ ගත කරන අවස්ථාවක ‘‘හදිසි අවස්ථාව අවශ්‍ය ඖෂධ / උපකරණ සුදානම්ව තිබිය යුතු වුවත්) වෛද්‍යවරුන් , වගේ සිදුවීම් සඳහන් කරන්නට පුළුවන්. මේ කියූ දේ අදටත් එම ස්ථාන වල සිදුවෙනවා ඇති . අපට මේ සියල්ල සොයන්නට බැරි වුනත් අඩුම තරමේ අපේ පරිස්සමට දැනගත යුතු කරුණූ කිහිපයක්වත් කතා කරමු දැන්.

“හරි දොස්තර“ සහ අංකය 

ලංකාවේ නිතිප්‍රකාරව ,“රෝගී ප්‍රතිකාරයට සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් “ ලෙස නම් කෙරෙන්නෙ , මෙන්න මේ වෛද්‍ය සභාවන් තුල ලියාපදිංචිවී , එම ලියාපදිංචිය පවත්වා ගනිමින් යන වෛද්‍යවරයෙක්ට . එතැනදි ලංකාව තුල මූලිකව වෛද්‍ය සභා තුනක් ක්‍රියාත්මක වෙනවා. 

ඒ බටහිර වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව පුහුණූව ලත් වෛද්‍යවරුන්ට ලියාපදිංචි වීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවත්(http://www.srilankamedicalcouncil.org/index.php) , ආයුර්වේද වෛද්‍යවරුනට ලියාපදිංචියට ආයුර්වේද වෛද්‍ය සභාව (http://www.ayurvedicmedicoun.gov.lk/web/)  සහ හෝමියෝපති පුහුණුවලත් වෛද්‍යවරුනට ලියාපදිංචි වීමට ශ්‍රී ලංකා හෝමියෝපති වෛද්‍ය සභාව . 

මෙන්න මේ ආයතන තුල ලියාපදිංචිවූ , නියමිත සුදුසුකම් සපුරාලූ වෛද්‍යවරුන්ට “වෛද්‍යවරයෙක් ලෙස ලියාපදිංචි අංකයක් “ ලබා දෙනවා. මෙය තමයි අදාල පුද්ගලයා පිළිබඳ රජයෙ නීතිමය වගකීම ඇති කරවන බැඳීම.

එහෙම නම් තමන් ප්‍රතිකාර ගැනීමට යොමුවන වෛද්‍යවරයා “සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්“ බව හඳුනාගන්නට මහජනතාවට භාවිත කරන්නට පුළුවන් මෙන්න මේ අංකය , ඒ සඳහා අදාල වෛද්‍යවරයා තමාගේ නම සමඟින් මේ අංකයත් , අදාල වෛද්‍ය සභාව කුමක්ද යන්නත් තමාගේ සේවාලාභියාට ලබා දෙනවා.එය සමහර විට ඖෂධ පත්‍රිකාවේ මුද්‍රාවක් ලෙස , නැත්නම් නාමපුවරුරේ සටහනක් ලෙස වෙන්නට පුළුවන්. මීට  පස්සේ ගමේ ඩිස්පැන්සරියට යත්දි , පොඩ්ඩක් බලන්න බෝඩ් එක දිහා , උදාහරණයක් විදියට එහි දොස්තර මහත්තයගේ නමට පහළින් SLMC කියන අකුරු එක්ක අංකයක් ඇත්නම් එයින් කියැවෙන්නේ , අදාල නම සහිත වෛද්‍යවරයා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුල ලියාපදිංචි බව.

ටීවි දොස් තර 

නමුත් ප්‍රශ්නයක් එනවා , ඒ හැමදාම උදේට ටීවි එකෙන් ගෙදරට එන සමහර “දොස්තරවරු“ යැයි කියා ගන්නා පිරිස නිසා .මොවුන් “සුදුසුකම්ලත් වෛද්‍යවරුන්“ ද කියන එක ප්‍රෙක්ෂකයාට ප්‍රශ්නයක් , තම මාධ්‍ය ආයතනයේ වැඩසටහනින්  ඉදිරිපත් කරන පුද්ගලයා “සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් බව නාමිකව පමණක් නැතිව අදාල ලියාපදිංචි අංකයත් සමඟ ප්‍රදර්ශනය කරන්නට පුළුවන් නම් “ , රැල්ලක් විදියට නැගී එන , ටීවී දොස්තරවරුන්ගෙන් විය හැකි කරදර අඩුකරගන්නට පූළුවන් වේවි. (මම මේ සටහන තුල ටීවි දොස්තර ලෙසින් හැදින්වුයේ වෛද්‍යවරයෙක් ලෙස ප්‍රතිකාර කරන්නට සුදුසකම් නැති , නමුත් ජනමාධ්‍ය මඟින් වෛද්‍යවරයෙක් බව කියවා ගන්නා පිරිස පිළිබඳව පමණී , නමුත් මාධ්‍ය ඔස්සේ අතිවිශාල කාර්යයක් කළ මාහාචාර්යය නන්දදාස කෝදාගොඩ වැනි වෛද්‍යවරුන් මේ අතරම ගෞරව පූර්වකට සිහිපත් කළ යුතුවේ) 

නොම්මරෙන් ඇති වැඩේ 

අපේ රටේ මේ පිළිබඳව  ප්‍රාෙයා්ගික  ගැටළු ඇතත් , කෙනෙක්ට තමන්ගෙ “වෛද්‍යවරයා ලෙස හඳුන්වා ගන්නා පුද්ගලයා“ පිළිබඳ සැකයක් ඇත්නම්  ඒ පිළිබඳව විමසා දැන ගන්නටත් , නැත්නම් “සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් “ගෙන් සිදු නොවන යම් හානියක් වුනා නම් , අපහසුතාවක් වූවා නම් , මේ විශේෂිත අංකය , නම සමඟින් අදාල වෛද්‍ය සභාවේ ලේඛකාධීකාරිවරයා වෙත දැනුම් දෙන්නට පුළුවන්. එවිට එම පැමිණිල්ල පිළිබඳ විභාග කිරීමක් කෙරෙන්නට පුළුවන්. 

නමුත් මේ “හොර වෙද“  අනතුරු වලින් ප්‍රජාව ආරක්ෂා කරගන්නට  කළ හැකි උපක්‍රම ගනණාවක් තිබෙනවා . 

ඒ අතරේ පළමු කටයුත්ත , ප්‍රජාව පටලැවී තිබෙන  “වෛද්‍යවරයා යැයි කියා ගන්නා පුද්ගලයා “ සහ “ සුදුසුකම්ලත් වෛද්‍යවරයා“ කියන ආකාර දෙක පිළිබඳව දැනුවත් කිරීම මුලික තැනක් ගනීවි. 

දෙවැන්න , වෙනත් රටවල මෙන් , සියළුම වෛද්‍ය සභා , තමන් යටතේ ලියාපදිංචිය ලැබූ වෛද්‍යවරුන් පිළිබඳව , ඔවුන්ගේ සුදුසුකම් , ප්‍රවීණතා , සේවා සපයන ස්ථාන වැනි කරුණූ  පිළිබඳව සාමාන්‍ය ප්‍රජාවට තොරතුරු ලබා ගත හැකි ක්‍රමයක් සකසනවා නම් , රෝගියාට පුළුවන්  , දොස්තර මහත්තයාගේ නමින් , නැත්නම් අංකය ඔස්සේ  , ඔහු හෝ ඇය , ප්‍රතිකාර කිරීමට සුදුසුකම්ලත් අයෙක්දැ , කිනම් ක්ෂේත්‍ර සඳහා ඔහු/ඇය විශේෂඥතා දරයිද , කිනම් රෝහල් වලදි හමුවිය හැකිය වැනි රෝගියාට අත්‍යවශ්‍ය මූලික කරුණූ  විමසා දැනගන්නට.  

 අද අස්සක් මුල්ලක්ම නෑර අන්තර්ජාල පහසුකම් , හෝ ජංගම දුරකථන ඔස්සේ අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව ඇති අවස්ථාවක , අදාල වෛද්‍ය සභා ඉහත කී තොරතුරු වෙබ් පිටුවකට එකතු කෙරෙනවා නම් , හොර වෙදුන් , හොඳ වෙදුන් සොයා ගැනීම පහසුවක් වේවි. 

වෙන රටවල තත්ත්වේ 

මෙ සංකල්පය ලංකාවෙ කෙසේ වුවත් , මෙම රටවල නම් බොහොම හොඳින්  ක්‍රියාත්මක වෙනවා . වෛද්‍යවරුන්ට පමණක් නොවේ , හෙදියන් , ඖෂධවේදීන් , ආදී  සෞඛ්‍ය වෘත්තිකයන් සියල්ලන් ලියාපදිංචිවන ආයතන , නම සාමාජිකයන්ගේ තොරතුරු අන්තර්ජාලය ඔස්සේ මහජනතාවට පහසුවෙන් ලඟාවිය හැකි , සරළව තොරතුරු සොයා ගත හැකි තත්ත්වයට පත්කෙරෙනවා. 

උදාහරණයක් විදියට 
මේ පළාතේ වෛද්‍යවරයෙක් පිළිබඳ සොයනවා නම්  http://www.cpso.on.ca/Public-Register/All-Doctors-Search

නිකමට වගේ මේ ලිංක් එකට ගිහින්අහඹු නමක් දීල බලන්න .

ඊළඟ පිටුවේ ඔබට ලැබේවි , වෛද්‍යවරයාගේ නම , ගම , මූලික පුද්ගලික තොරතුරු , අධ්‍යාපන සුදුසුකම් , වෛද්‍ය අධ්‍යාපනය , විශේෂඥ පුහුණූ , කළ හැකි දේ (Dr..... shall prescribe drugs only for in-patients or out-patients of a clinical teaching unit that is formally affiliated with the department where...) ප්‍රතිකාර සදහා මුදල් අය කළ හැකි ද නොහැකිද යන්න (Dr. ......... shall not charge a fee for medical services) වැනි රෝගියා දැනගත යුතුම කරුණූ . 

ටිකක් හිතල බැලුවොත් , මේ කටයුත්ත කරන්න රුපියල් මිලියන ගණනක් මූලිකව යන  එකක් නැහැ . නමුත් වාසිය රෝගියාට , මක්නිසාද ඔහුට /ඇයට පුළුවන් තමන් යොමුවන වෛද්‍යවරයා පිළිබඳ වැටහීමක් , අවබෝධයක් සහ එතුලින් විශ්වාසයක් සමඟ ප්‍රතිකාරය සඳහා යොමු වන්නට. එමෙන්ම , වෛද්‍යනිලධාරින්ගේත් වෘත්තීය ගරුත්වය මෙන්ම වගකීම් පිළිබඳ ප්‍රජාව තුල විශ්වාසනීයත්වයක් පවත්වා ගන්නටත් , විශේෂයෙන්ම “දොස් තර“ ලෙස පෙනී සිටින සොරුන්ගෙන් මහජනතාව රැක ගන්නත් මෙය උපකාරයක් වේවි.


හෙදියක් ගැන නීතිමය බැඳීම  පිළිබඳ සොයනවා නම් https://flo.cno.org/Register/


මීට අමතරව , මෙම රටවල නම් වෛද්‍යවරයා සේවය කරන සායනය හෝ එ්කකය තුල , වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට තමන් ඇති නෛතික වගකීම මෙන්ම , පුහුණු සහ විශේෂඥතා පිළිබඳ සහතික පවා රෝගීනට පහසුවෙන් බලාගන්නට පුළුවන් අයුරින් ප්‍රදර්ශනය  කෙරෙනවා. එමඟින් රෝගියා සහ සෞඛ්‍ය කණ්ඩායම අතර විශ්වාසවන්භාවය ඉහළ නංවා ගන්නට කටයුතු කරනවා . (මේ රටවල නම්  , රෝගියෙක්ට වෛද්‍යවරයෙක්ගෙන් හෝ වෙනත් සෞඛ්‍ය වෘත්තිකයෙක්ගෙන් අවැඩක් සිදුවුනොත් , රක්ෂණ වන්දි ලෙස ඩොලර් දහස්ගණනක් ගෙවන්නට සිදුවෙනවා , ඒ නිසා  මේ දැනුවත් කිරීම් බොහොම වගකීමකින් සිදුකරන්න කවුරුත් උත්සාහ කරන්නේ .)


දැන් මම මෙම රටවල සෞඛ්‍ය සේවය සහ ලංකාව අතර සසඳන්න යන්නේ නැහැ , නමුත් ලොකු වියදමක් නොවී , දැනට පවතින මේ “හොර වෙද“ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස ගන්නට පුළුවන් වෙනත් රටවල භාවිත වන අපේ රටේ යොදාගත හැකි එක් උපක්‍රමයක් ගැන පමණයි මේ සඳහන් කළේ.

මේ සටහන මෙතැනින් නිමා කරනවා , ඔබේ අදහස්  එකතු කරන්නට ඉඩ හරිමින් . 
ඔබ සැමට සුව සතුට පිරි දිනයක් !

167) ජීවිත රැක දෙන “අයිස් බකට්“

$
0
0
මේ දවස් ටිකේ කවුරුත් “නාගන්නවා“ , නිකම් නෙවි , හොඳ සීතලට නාගන්නවා. දැන් මේ කතාව පටන් ගනිත්දිම ඔබ කවුරුත් දන්නව අද කතා කරන්න හදන්නේ “අයිස් බකට්“ ගැන කියල . නොදන්න කෙනෙක් ඉන්නවා නම් , මේ දවස් වල  එක්තරා ස්නායුක රෝග තත්ත්වයක් පිළිබඳ කෙරෙන පර්යේෂණ සඳහා අරමුදල් රැස්කිරීමේ “දාම ක්‍රියාවලියක්“ ලොව පුරා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. විශේෂයෙන්ම , මුහුණපොත , යූටියුබ් , ට්වීටර් , ඉන්ටග්‍රෑම්  වැනි සමාජ ජාල වල බලපෑම් එක්ක , “රැල්ලක් ලෙසින්“ පැතිරී යන “අයිස් බකට්“ අභීයෝගය ගැන විවිධ රටවල කතා බහක් ඇත වෙලා තිබෙනවා. 

නමුත් මෙවන් ක්‍රමවලට   “පරිත්‍යාග රැස්කිරීමේ “ ක්‍රියාකාරකම් ටිකක් නුහුරු අපේ රටේ මේ ගැන විවිධ මත පලවෙමින් තිබෙනවා . නමුත් මෙම රටවල නම් මෙවන් පුණ්‍යාධාර රැස් කිරීම් බහුලයි , පාසල් යන පුංචි පැටවුන් පවා , දොඩම් යුෂ විකුණමින් , රථ වාහන සොදා දෙමින් , නැතහොත් කණ්ඩායමක් එක්ව ගී ගායනා කරමින් මුදල් රැස් කර මෙවන් පුණ්‍යාධාර වැඩසටහන් වලට පරිත්‍යාග කරන සුන්දර දර්ශන බොහොම හුරුයි.

මේ ලිපිය තුල එම මතවාද පිළීබඳව කතා කරන්න උත්සාහ නොකළත් , මූලිකව මේ කටයුත්ත ගැන සටහනක් නොතිබ්බොත් අඩුවක් වගේ දැනෙනව.

ALS Association: Create a World without ALS.මොකක්ද මේ “අයිස් බකට්“ කෙරුවාව. කෙටියෙන්ම කිව්වොත් , අද කියන්න හදන මේ ALS රෝග තත්ත්වයට ප්‍රතිකාර පිළිබඳ පර්යේෂණ වලට පරිත්‍යාග එක් කරන්නට කැමති අයෙක් , “අයිස් බකට්“ අවස්ථාව සූදානම් කරනවා . ඔහු හෝ ඇය අයිස් මිශ්‍ර සීතල වතුරින් නැහැවෙන අතරේ එය වීඩියෝ ගත කර #IceBucketChallenge යොදා අන්තර්ජාලය වෙත සමාජ ජාලා වෙත මුදාහරිනවා . ඒ අතරේ ඔහු හෝ ඇය http://www.alsa.org/ වෙත ඩොලර් දහයක (හෝ කැමැති ප්‍රමාණයක) පරිත්‍යාගයක් කරනවා. අර වීඩියෝව කරන අතරේ “නාන කෙනා“ අභියෝගයක් කරනවා , ඒ තමන් දන්නා තවත් කෙනෙක්ට මේ අභීයෝගය කළ හැකිදැයි . මේ නම් කෙරුණු කෙනා මෙතැනින් සිට පැය 24ක් තුල අදාල කෙනා “නාන“  අභීයෝගය භාර නොගත්තොත් ඔහු හෝ ඇය ස්වෙච්ඡාවෙන්ම  ඩොලර් සියයක  මුදලක් http://www.alsa.org/ වෙත පරිත්‍යාග (පුණ්‍යාධාර) කළ යුතු වෙනවා . අභියෝගය භාර ගත්තොත් පළමු කෙනා වගේම අයිස් වතුර නාල , තවත් කෙනෙක් නම් කරල , ඩොලර් දහයක් (හෝ කැමති මුදලක්) පරිත්‍යාග කරලා , තැනූ වීඩියෝව අන්තර්ජාලයට මුදා හරිනවා.ඇත්තෙන්ම මේක අර  පිරමිඩ ක්‍රමය වගේ , අළුත් පුරුක් තනමින් පරිත්‍යාග රැස් කරන සුන්දර , ඒත් ටිකක් විතර දුෂ්කර ක්‍රියාවලියක්.

දැන් ඔබ අහන්න පුළුවන් ඇයි මේ විකාර , ආධාර ඉල්ලුව නම් ඉවරයි නේ කියල , නමුත් ඔබ හිතනවද මාධ්‍ය මඟින් . සමාජ අඩවි මඟින් මෙම ආයතනයට ඩොලර් දහයක ආධාරයක් කරන්න කීව පමණින් එය  සක්‍රියව සිදුවේවි කියල , නමුත් මෙවන් ක්‍රියාකාරී , බැඳීමක් සහිත සහ එක්තරා විදියක මිත්‍රත්වයක් , විනෝදයක් වගේම ප්‍රචාරණයක් , ප්‍රසිද්ධ්යක් එන කටයුත්තකදි එම සක්‍රිය බව වැඩියි , ඒ නිසාම අද(අගෝස්තු 22)වෙනකොට ඩොලර් මිලියන 53 ක් දක්වා ආධාර එක් රැස් වෙලා තිබෙනවා.එපමණක්ද ? මේ “විශේෂ නෑම“ නිසාම ලොව පුරා මෙතෙක් ALS ගැන කතා නොකළ අය පවා මේ රෝගය ගැන තතු විමසන්නට , දැන ගන්නට සූදානම් වෙලා. 

ඇත්තටම මේ කටයුත්ත ආරම්භ උනේ 2013 විතර , ඒ MS රෝගය වෙනුවෙන්  , රෝගය ගැන දැනුවත් කිරීම සහ පර්යේෂණ සඳහා අරමුදල් රැස් කිරීමට . නමුත් එය 2014 පසුගිය මාසයේ විතර වෙනත් රෝගයක් වෙනුවෙන් නැවත ආරම්භ වුනා. ඒ  මෙම ALS කියන  ස්නායුක රෝග තත්ත්වය වෙනුවෙන්.


දැන් අයිස් බකට් කතාව ඉවරයි. ආරම්භ වන්නේ ALS ගැන කතාව. හැබැයි වෙනද වගේ දිගට ලියන්න ඕන වෙන එකක් නැහැ .මොකද මේ වන විට ALS හුඟක් දුරට සමාන MS .ගැන ලියල තිබෙන නිසා. කෙසේ වෙතත් ලිපියේ ඉස්සරහට යන්නට පෙර පොඩි විවේකයක් ගන්නවා , ඒ ඔබට පහත සබැඳිය ඔස්සේ ගොස් MS ගැන ලියැවුනු පරණ ලිපියක් කියවන්නට  , මක් නිසාද ඒ රෝගය ගැන අවබෝධයක් තිබීම ALS ගැන කතා කරන්නට පහසුවක් වන  නිසා.

මෙන්න ලිංක් එක http://www.nursinglk.com/2012/06/107.html (ලිංක් එක මත ක්ලික් කරල යන්න පුළුවන්) 

හරි මම හිතනවා ඔබ MS රෝගය ගැන දැන් කියවන්නට ඇති කියල . එහෙම නම් දැන් අපි කෙටියෙන් මේ රෝග තත්ත්ව දෙක ගැන කතා කරමු.

අපේ ස්නායු පද්ධතිය විනාශ කරමින් , අප දැනුවත්වම  ටිකෙන් ටික මරණය කරා රැගෙන යන අවාසනාවන්ත රෝග තත්ත්ව දෙකක් වන MS සහ ALS ස්නායු , ස්නායු සෛල ටිකනේ ටික විනාශ කරමින් , අපේ අතපය චලනයන් , ආහාර ගිලීම , ශ්වසනය වැනි පේෂි සහ ස්නායු එකට වැඩ කරන සියළු පද්ධති ටිකෙන් ටික බිඳිමින් , දුර්වල කරමින් රෝගියා ජීවත්ව සිටියදීම “කායිකව මරණ “ මේ රෝග තත්ත්ව අද ලෝකයේ සුව කළ නොහැකි රෝග අතරේ ඉහළ තැනක ඉන්නෙ . 

මල්ටිප්ල් ස්ක්ලෙරෝසිස් තත්ත්වයට අපෙ “ස්වයං ප්‍රතිශක්තිය“ කියන  , අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සිදුවන “වැරදි වැටහීමක්“ නිසා , අපේම සෛල මරමින් යන තත්ත්වය හේතු වුනත් ALS හෙවත් Amyotrophic lateral sclerosis ට එහෙම හේතුවක් තවමත් හරියටම කියන්න බැහැ. ඒ නිසාම එහි බරපතල බව MS ට වඩි වැඩියි කියන්න පුළුවන්. අනෙක් අතට MS තත්ත්වය අඩු වැඩි වෙමින් (ඖෂධ ගන්නේ නම්) ක්‍රමයෙන් නරක අතට ගියත් ALS අඩුවීමක් නැතිව ක්‍රමාණූකුලව රෝගියාගේ  සියළු පද්ධති අඩපණ කරමින් මරණය කරා රැගෙන යනවා , ඒ රෝගය හඳුනාගැනීමෙ පටන් අවුරුදු පහක් පමණ කාළයක් තුලදි. MS වලදි යම් තරමක පාළනයක් කරන්නට පුළුවන් වුනත් ALS වලදි කළ හැක්කෙ රෝගියාට උපකාර කිරීම පමණයි.

මේ නිසාම තමයි අයිස් බකට් අභියෝගය ඔස්සෙ ලෝකයේ ප්‍රජාව ALS රෝගය ගැන දැනුවත් කරමින් , එය සුව කිරීමට , පරියේෂණ කිරීමට පෙළඹවීම වැඩි කිරිමටත් , ඒ සඳහා අවශ්‍ය අතිවිශාල මුදල් ප්‍රමාණය පුණ්‍යාධාර ලෙස රැස් කර ගැනීමටත් උත්සාහ දරන්නෙ. ඉති්න මේ අයිස් බකට් අභියෝගයට ඔබ කුමන මතය දැරුවත් , ඒ පිළිබඳ පර්යේෂණ කරමින් , එය හඳුනාගන්නට , සුව කරන්නට මෙම පර්යේෂකයින් දරණ උත්සාහය අගය කළ යුතුමයි .මක් නිසාද ඉදිරි දිනකදි මේ කියවන ඔබ මෙම රෝග තත්ත්වයට පත් නොවේ යැයි කාටවත් කියන්නට බැහැ. 

මොකද මේ තත්ත්වයට රට , වයස , ස්ත්‍රි පුරුෂභාවය හෝ වෙනත් සාධකයක් සෘජුව බලපාන්නෙ නැහැ.අනෙක මෙ සියළු පර්යේෂණ කෙරෙන්නෙ ALS තත්ත්වය ලෝකයෙන් තුරන් කිරීමට මිසක , එක රටකින් තුරන් කිරිමටකට නොවෙයි , ඒ නිසා තමයි ලොව පුරා සියළු රටවල මේ කටයුත්තෙදි එක් වන්නෙ. 


අවසානයේ දුක්මුසු ආරචියක් , ඒ ... තමන්ගේ හොඳම මිතුරා මෙම රෝග තත්ත්වයට පත්වීමේ දුක දරා ගන්නට , මෙම අයිස් බකට් සංකල්පය ඔසේ ALS පර්යේෂණ වෙනුවෙන් , පුණ්‍යාධොර රැස්කිරීමේ “සත්කාර්යය“ ආරම්භ කළ වයස අවුරුදු 27ක කෝරි ග්‍රිෆින් පසුගිය දහසය වන දා මෙලොව හැර ගියා , ඒ දියේ ගිලීමකින් . ඔහු එසේ මෙලොව හැර ගියත් , Ice bucket තවත් දහස් ගණනක් නහවාවි , ස්නායු මරමින් ජීවිත බිළිගන්නා ALS සුව කිරීමේ කාර්යය වෙනුවෙන් ඔහු ඇරඹු පුණ්‍යාධාර රැස් කිරීම , ඩොලර් මිලියන ගණනක් එක් කරමින් ALS නොමැති හෙටත් වෙනුවෙන් ඉදිරියට යාවි.


එසේ නම් ලැබුණූ මද විවේකයේ කළබලේට ලියාගෙන ගිය මේ සටහන මෙතැනින් නිම කරනවා , ඔබ සැමට සුව සතුට පිරි දිනයක් පතමින්. 

(ඔබ අයිස් වතුර  නොනෑවත් , ALS රෝගය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ කාර්යයට ඔබටත් දායක වන්නට පුළුවන් , ඒ මෙම රෝග තත්ත්වය පිළිබඳ තොරතුරු ඔබේ මිතුරන් අතරේ බෙදා ගනිමින්. ) 
-----------------------------------------------------------------
අවුරුදු විසි අටක තරුණයෙක් තමන්ගේ ජීවිතේ ALS අත්දැකීම් අහන්න (අන්තර්ජාල මෙගා බයිට් ප්‍රමාණය ගැන නොසිතා පුළුවන් නම් මේ විඩියෝව බලන්න.)
මේ ලිංක් එක දිගේ ගියොත් ALS තත්ත්වයට පත්වූ අයෙක් තමන්ගේ අත්දැකීම් විස්තර කරන හැටි දැක ගන්නට පුළුවන්. ( වීඩියෝවෙන් වසර හතරකට පස්සෙ ඔහු මෙම රෝග තත්ත්වයෙන් මිය ගියා, එයයි මෙහි අවාසනාවන්ත බව)




තවත් සුන්දර “අයිස් බකට් “ කිහිපයක් මේ .

http://youtu.be/XS6ysDFTbLU 

http://youtu.be/G2qkC7Fj_tA 


http://youtu.be/BvpypgA14bk

168) එබී බලන “එබෝලා“

$
0
0
මෙන්න බලන් අපි අස්සෙ අම්ම ඉන්නෙ පිටිපස්සෙ
දවස ... සෙනසුරාදාවක් 
ප්‍රදේශය .... ගාල්ල , වක්වැල්ල පාර ..
හීරෝ හොන්ඩා යතුරු පැදියේ , හුළං පාර කපා ගෙන යන  “ පුංචි පවුලක් “ 
ගමනාන්තය , ගාලු කොටුවේ , පරණ ලයිට් හවුස් එක ගාව “බිත්තර රොටි කඩේ “ 

“ අද ටිකක් සීතලයි වගේ , වැස්සට අහුවේද දන්නෙ නෑ  .... එන ගමන් මට හිරිඹුරේ මෝළට යන්නත් ඕන තුනපහ ගන්න  , අපි වැඩි වෙලා ඉන්නේ නැතුව එමු අද ...“ 

සීතල හුලං පාරට හිර වෙලා තිබුණු කණ ගාවටම කරල යෝජනාවක් මනෝජගෙන් .. 

“අනේ , අපි වහිනක්ම ඉඳළ , වැස්සේ තෙමි තෙමි එමුකෝ “ ....යෝජනාව මට වුනත් , යෝජනාවට උත්තර දෙන්නෙ   , හීරෝ හෝන්ඩ එකේ , පෙට්‍රල් ටැංකිය බදු අරගෙන ඉන්න “චූටි නෝන කෙනෙක්“ ...

එන්න කන්න උණු උණූ බිත්තර රොටි
‘‘ඔව් අම්මේ , අම්ම හෙට නිවාඩුත් එක්කනෙ , අපි ටිකක් ඉඳළ එමු“ , දී කිරට සාක්කි දෙන තවත් කෙනෙක් නංගිටයි , තාත්තටයි මැදි වෙලා .

‘‘හ්ම්  .. බලමු එ්ක පස්සෙ , ඉස්සර වෙලා අපි යමුකෝ .....අද බිත්තර රොටි දැනටමත් ඉවරද දන්නෙත් නෑනේ .. සීතල දවස නේ....“

“ට්‍රීං ට්‍රීං .....ට්‍රීං ට්‍රීං “ 
නිවාඩු වෙලාවට අහන්න අකමැතිම නාදේ ...

ගහගන්තා ෆෝන් එක හෙල්මට් එක  අස්සට ....

“හෙලෝඕ ...“

“මිස්ටර් මහේෂ් , මම ලොකු මිස් , අනේ අද පුළුවන් නම් නයිට් එකක කරල දෙන්න , මේ දැං  යුනිට් එකට ගෙනාව “රේබීස්  පේෂන්ට් කෙනෙක් , ටිකක් ඇග්‍රසිව් වගේ , අද නයිට් එකට ඉන්නේ මේ පොඩි කෙල්ලො දෙන්නනෙ , දෙන්න ටිකක් බයේ ඉන්නෙ , පුළුවන් නම් ලොකු උදව්වක් “  යතුරු පැදිය යන වේගෙට වඩා වැඩි වේගයකින් ලොකු මිස් කියවගෙන යනවා .

“අනේ ලොකු මිස් , අද නයිට් එකක් නං කරන්න බැහැ ‍හෙට උදෙත් ඩියුටිනෙ , මෙහෙම කරන්නං , මට ඩියුටි දාන්න එපා , මම පේෂන්ට් සෙඩේට් වෙනකම් දහය විතර වෙනකම් ඉඳළ ගෙදර එන්නං “ වාට්ටු පරිසරය තුල අපි හැමෝටම “අම්ම කෙනෙක් වගෙ ආදරය කරන “ලොකු මිස්ගේ මූණට බැහැ කියන්නත් බැහැ“ , නයිට් එකක් කරන්නත් බැහැ . 

කරාපිටිය  රෝහලේ සේවය කළ අන්තිම ඒකකය වූ ඒකළන ප්‍රතිකාර ඒකකයේ සේවය කරන කාළේ , හුඟක් දවසට සිදුවන කතාවක්මේ . 

මේ අපේ ඒකළන ප්‍රතිකාර ඒකකය 
ඒකළණ ප්‍රතිකාර ඒකකය කියන්නේ , දරුණුම බෝවන රෝග තත්ත්ව ඇති රෝගීන් , සහ ප්‍රතිශත්කිය ඉතාමත් දුර්වල වූ රෝගීන් ( ඔව් මේ දෙගොල්ල පරිස්පර කණ්ඩායම් දෙකක්) වෙන කර ප්‍රතිකාර කරන , විශේෂීත ඒකකයක් . දෙදහස් දහයේ අන්තිම කාළෙ පැතිරී ගිය  , H1N1 තත්ත්වයට මුහුණ දීම සඳහා විවෘත කළ මෙම ඒකකයේ සේවට කරන්නට කැමති වූ “හෙද නිලධාරින්“ කිහිප දෙනාගෙන් , එක් අයෙක් වීමේ භාග්‍යය ලැබූවෙක් මම . 

මේ ඒකකය තුල අපෙ අතින් ප්‍රතිකාර ලැබූ , සාත්තුව ලැබූ රෝගීන් කණ්ඩායම් අතරේ , H1N1 රෝගීන් , ජලභීතිකා රෝගීන් , HIV සැක සහිත රෝගීන් , හෙපටයිටිස් බී වැළඳුනඅය , ඒ වගේම බහුලවම , ප්‍රතිජීවක ප්‍රතිරෝධී වූ රෝගීන් (Multi  Drug Resistant) වැනි අවදානම් කාණ්ඩ ප්‍රධාන වුනා.  ඊට අමතරව පිළීකා සහ රුධීරය ආශ්‍රිත රෝග නිසා තම ප්‍රතිශක්තිකරණ හැකියාව ඉතාමත් පහළට වැටුනු කණ්ඩායම් ද වුනා . කාමර හතරක , ඇඳන් අටක , ආසාදන පාළන සහ ඒකළණ වශයෙන් සුවිශේෂී පහසුකම් තිබුණු වාට්ටු අංක 58 පුංචි වුනත් එයින් රෝගී්න සිය ගණනකට සේවය ලැබුණා. 

“සොඳුරු අතීතය ගැන “ කතා බහක් කරන්නට සිතුනෙ , ආයෙත් මෙබඳු “ඒකළන එ්කක “ වල අපේ සගයන් මේ  දවස් වල ටිකක් කළබල ඇති , විශේෂ පුහුණූ ඇති , අඩුපාඩු උපකරණ ගෙන්වනවා ඇති , ටික ටික සූදානම් වනවා ඇති ......කුමකටද මේ සූදානම් වනවා ඇත්තෙ ?  ඒ එබෝලා උණ රෝගීන් වෙනුවෙන් .

සමහර විට මේ රෝග තත්ත්වය තවමත් ලංකාව තුල අවදානමක් නොපෙන්වුවත් , මෙබඳු අවස්ථාවක පෙර සූදානම් වීම , විශේෂ පුහුණු ලබා දීම සෞඛ්‍ය ක්ෂේත්‍රෙයේ සියළුම අංශ වල සිදු වුනත් මෙවන් විශේෂිත එකක් වල එම කටයුත්ත අනිවාර්යයි. 

එහෙම නම් පරණ කයිවාරුවෙන් පස්සේ දැනුයි පටන් ගන්නේ අද මාතෘකාව . ඒ අද දවස වන විට ලෝකයටම තර්ජනයක් එල්ල කළ හැකි “එබෝලා රක්තපාතික උණ රෝගය “ ගැන .

අඟර දඟර එබෝලා 
අද දවස වනවිටත් මේ රෝග තත්ත්වය පිළිබඳව ඔබ යම් පමණකට දැනුවත් ඇති. මෙයත් තවත් උණ රෝගයක් . සාමාන්‍ය උණක් නොවේ රක්තපාතික උණ තත්ත්වයක් .

ඔව් අපි අහල පුරුදු ඩෙංගු වලත් රක්තපාතික උණ අවස්ථාවක් තිබෙනවා . අන්න ඒ වගේ , අසාමාන්‍ය ආකාරයෙන් දේහයෙන් ලේ පිටවන්නට පුළුවන් , ඒ සමඟින් දේහ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් දුර්වල කර අකර්මන්‍ය කර රෝගියාව මරණය කරා කැඳවාගෙන යන්නට පුළුවන් බොහොම දරුණු වයිසර පවුලක් තමයි මේ එබෝලා වයිරස කියන්නෙ. මේ දරුණූ වයිරස පවුලේ චණ්ඩි පස් දෙනෙක් හිටියත් , මේ වතාවේ එයින් දරුණූම එක්කෙනා තමයි වැඩ පෙන්නනත් පටන් අරන් තිබෙන්නෙ . 

අප්‍රිකාවේ දි රෝගී වුනු වඳුරන් , වවුලන් වැඩි සතුනේගේ දේහ වලින් පිටතට ඇවිත් මිනිසාට ඇතුළු වුනු බව කියන ( නමුත් මේ පිළිබඳ විවිධ මත පළවෙනවා ) එබෝලා දැන් මිනිසාගෙන් තවත් මිනිසෙක්ට  බෝවන රෝගයක් බවට පත්වෙලා . ඒ විතරක් නොවෙි  ඉදිරියෙදි ලෝකයටම බලපෑමක් කළ හැකිබව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කියනවා. ඒ මේ රෝග තත්ත්වය වැළදුනාම ඇති අවාසනාවන්ත තත්ත්ව නිසා පමණක් නොවෙයි , මේ රෝගයේ පැතිරීමෙ ස්වභාවයත් ඉතාම අවදානම් .

සියයට සියයක්ම නිවැරදි යැයි නොකීවත් දැනට පර්යේෂණ මඟින් හඳුනාගෙන ඇති ආකාරයට එබෝලා මිනිස් දේහයට ඇතුළු වුනාම , අපේ සුදු රුධීරාණූ (ප්‍රතිශක්තියට උදව් වන) වලට පහර ගහමින් ඒවා බලහත්කාරයෙන් තම ග්‍රහණයට ගනිමින් , එබෝලා පැටවු හදන ෆැක්ටරි බවට පත්කරනවා . එතකොට සුදු රුධීරාණුවට තමන්ගෙ නියමිත රාජකාරි කරගන්නට බැහැ . තව ටිකක් ගියාම මේ ෆැක්ටරිය පිපිරෙන්නට පැටවු , දැන් මේ සුදු රුධීරාණූ ෆැක්ටරි පුපුරවා ගනිමින් “එබෝලා බබලා“ ලේ වලට එකතු වෙනවා (ඇත්තෙන්ම පැටවු නොවේ වයිරස ග්ලයිකෝප්‍රෝටින් අණූ , ඒත් බබාල කිව්වම ලේසියිනේ )


එබෝලා බබාල හද හැටි
මේ පිපිරුම් එක්ක ලේ වලට එකතු වන රසායනික ද්‍රව්‍ය නිසා (සයිටොකයනීස්) රෝගියාට තද උණක්  සම මතුපිට දදයක් වැනි ලප (rash) තත්ත්වයක් ඇති වෙනවා . මේ වන විට ඔහුගෙ ප්‍රතිශක්තිමය හැකියාව දුර්වල වී ඇති නිසා තත්ත්වය ටිකෙන් ටික දුර්වල වෙනවා . තව ටිකක් වෙලා යත්දි මේ වයිරස් අපෙ කුඩා රැධීර වාහිනී “හපා කමින් “ කඩා බිඳ දමන්නට පටන් ගන්නවා ,


ඔන්න දැන් රක්තපාතය , රැධීරවහනය වන්නට පටන් ගන්නවා ,වයිසරයේ බලපෑමෙන්  රැධීරයේ ඇති “ස්වභාවික ලේ කැටි ගැසීමේ ක්‍රියාවලියත්“  අඩපණ වී ඇති නිසා මේ රුධීර වහනයන් පාළනය කරන්නට අපහසුයි , මෙ සමඟින්ම දේහය තුල තිබෙන ප්‍රධාන ඉන්ද්‍රියයන් , මොළය , අක්මාව , ආහාර ජීරණ පද්ධතිය වැනි ඉන්ද්‍රියන්ට ලැබෙන රුධිර සැපයුම අඩාල වෙනවා. මේ නිසා සහ තවත් සාධක කිහිපයක බලපෑම නිසා එම ඉන්ද්‍රියයන් “මිය යන්නට“ පටන් ගන්නවා . මේ රෝගියාගේ ජීවිතය ඉතාමත්  අවදානම් අවස්ථාවක් , රෝගින් මෙම රෝග තත්ත්වයෙන් මිය යන ප්‍රධාන හේතු වන්නේ රක්තපාතය සහ ඒ මඟින් ඇතිවන කම්පන තත්ත්වය Hypovolimic shock සහ බහු ඉන්ද්‍රිය  පද්ධති බිඳවැටීම් (Multi organ failure) කියන සිදුවීම් නිසා.


මේ තරම් දරුණූ එබොලා පැතිරෙන්නේ කොහොමද ? දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන අකාරයට , රෝගියෙක්ගෙ දේහ තරල , කෙළ , රැධිරය , ලිංගික තරල  ,  කැඩුනු සම හෝ මුඛයේ , නාසයේ , නැත්නම් ඇසේ වැනි ස්ථාන වල තිබෙන තුනී පටල ( ශලේශ්මල පටල) ඔස්සේ . නිරෝගී අයෙක්ගේ ඇඟට ඇතුළු වන්නට පුළුවන්, විශේෂයෙන්ම සෘජු ස්පර්ශය Direct contact, ඒ කීවේ කෙළින්ම රෝගියාගේ තරළ ඇඟේ ගෑවීමෙන් , නැත්නම් වක්‍රකාරයෙන් , ඒ කීවේ රෝගී තරළ ගෑවුනු උපකරණ , ඇඳ ඇතිරිළි ස්පර්ශ කිරීමෙන් . 

නමුත් සාමාන්‍ය උණ හෙම්බිරිසාව  , නැත්නම් පැපොල සරම්ප වගේ , සුළඟ ඔස්සේ වයිරස ඇවිත් එබෝලා ඇති කරන්නට ඇති අවදානම (Airborne) ඉතාමත් අඩු , නැත්නම් එවන් අවදානමක් නැති බවයි මේ පිළිබඳ පර්යේෂකයන් පවසන්නේ ( අගෝස්තු 27 වන අද දින වනවිට) . 

මේ යම්  ආකාරයකින් වයිරසය ශරීර ගත වුනොත් , ඉන් දින 2ක් 21 අතර කාළයේදි රෝග ලක්ෂණ ඇති වෙන්නට පටන් ගන්නවා . එතැන් ඉඳළ මාස තුනක් විතර යනකම් වුනත් රෝගයාගේ ඇඟ ඇතුලට වෙලා ඉන්න මෙයාට පුළුවන් . යම් හෙයකින් රෝගියා සනිීප වුනත් , තවත් මාස දෙකක් විතර යනකම් ඇඟ ඇතුලට වෙලා හැංගිලා ඉන්න එබෝලාට පුළුවන් . රෝගය පැතිරීමේ අවදානම වැඩි කරන්නට මේ හැංගි හොරා සෙල්ලමත් ලොකු දායකත්වයක් දරනවා.


ලෙඩේ හැදුනොත් සාමාන්‍ය උණක් වගේම තද උණක් , ඇඟ පත වේදනාව , තදබල හිසේ කැක්කුමක් ,අප්‍රාණික බව , බඩේ අමාරු ගතියක් වගේ පොදු ලක්ෂණ ගණනාවක් එන්න පුළුවන් .  ඉන් පස්සේ ඇඟපුරා මතුවන රතුපාට ලප එක්ක දදයක් වගෙ දකින්නට පුළුවන් . සමහර විට මේ එක්කම වමනය , මල පහ එක්ක ලේ පිටවීම් ආරම්භ වන්නටත් ඉඩ තිබෙනවා . ඒ කියන්නෙ දැන් ඉන්නේ රක්තපාතික අවස්ථාවේ . 


මෙතෙක් ඉන්නේ තැනිව අවදානම පිළිබඳ සැකයක් ඇත්නම් සහ මුල් රෝග ලක්ෂණ පෙන්වා නම් ඉක්මණින් රෝහල් ගත වීම , තමාටත් අනේක් අයටත් යහපතක් , 
රෝහලේ දී රෝග ලක්ෂණ , රෝග ඉතිහාසය (විශේෂයෙන්ම රෝගය ඇති ප්‍රෙද්ශ වල සංචාරය කිරීම වැනි සාධක)  වගේ කරුණු විමසා බලත්දි මෙය එබෝලා විය හැකිද කියන සැකය ඇති කරන්නට වෛද්‍යවරයාට පුළුවන්. ඉන් පසුව වයිසර රෝග තත්ත්වයකට අදාලව කෙරෙන බොහොම සුක්ෂම රැධිර පරික්ෂා කිහිපයක් ඔස්සෙ , හරියටම මෙය එබෝලා දැයි කියන්නට අද පුළුවන්.


ප්‍රතිකාරයේ දී පළමු පියවර ආරම්භ වන්නේ “රෝගියා ඒකළනය කිරීමෙන් “ , ඒ කිව්වෙ “රෝගියා අනෙක් අයගෙන් සෞඛ්‍යාරක්ෂක ක්‍රම මගින් වෙන් කිරීමෙන් . බොහෝ දුරට මෙහිදි කෙරෙන්නෙ ,රෝගියා අපි මුලින් කතා කළ ඒකකය වැනි Isolation unit , නැත්නම් ඒකළන ප්‍රතිකාර ඒකකයකට යොමු කරන එක. එතැනදි දේහයේ රැධීර පරිමාව අඩුවීමට අදාලව , අනෙක් ඉන්ද්‍රියයන් අඩපණවීම වලක්වා ගැනීමට සහ පවතින  රෝග ලක්ෂණ වලට අදාල ප්‍රතිකාර ලබා දේවි. නමුත් මේ වන විට රෝගයට සෘජුව ප්‍රහාර එල්ල කළ හැකි කිසිම ඖෂධයක් සොයාගෙන නැහැ. ( කැනඩාවේ එක්තරා වෛද්‍ය පර්යේෂණ ආයතනයක මැදිහත් වීමෙන් තැනූ ඖෂධයක් මගින් මෙම රෝගයට පත්වූ අයෙක් සුව වූ බව පැවසුනත් , පිළිගන්නා ආකාරයේ ඖෂධයක තබව නැහැ) 


යම් හෙයකින් රෝග තත්ත්වය අපේ රටට ආවොත් , මෙන්න මේ අය වඩාත් පරිස්සම් වෙන්න ඕන . ඒ තමයි 


  • සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 
  • මෘත ශරීර වල කටයුතු කරන පුද්ගලයින්
  • පොදු ප්‍රවාහන පද්ධතිය බහුලව භාවිත කරන පුද්ගලයින් 
  • ප්‍රතිශක්තිය අඩු විය හැකි ( දියවැඩියාව , කාළීන රෝග) රෝග ඇති 
  • ස්ටීරොයිඩ ඖෂධ කාළීනව ගන්නා අය 
  • සහ පොදුවේ රෝගීන් සමඟ සම්බන්ධ වන පිරිස (රෝගියාගේ පවුලේ , ප්‍රජාවේ අය)
    දැනට ලංකාව තුල ලොකු අවදානමක් නැති නිසා , නොසළකා නොහැර එබෝලා ගැන දැනුවත් වීම එක්තරා විදිය පෙර සූදානමක් වන්නට පුළුවන් . ඒ වගේම රෝගය පිළිබඳ සැක සහිත මූලික අවස්ථාවේම වෛද්‍ය උපදෙසකට යොමු වීම , අත් සේදීම , ශාරීරික පවිත්‍රතාව නිිසි ලෙස පවත්වා ගැනීම , රෝගය පිළිබඳ සැක සහිත පුද්ගලයන් සිප වැළඳ ගැනීම් හෝ ලිංගික එක්වීම්  වලින් වැලකීම ( වයිරසය ශරීරයේ තැනැයි තහවුරු කරන තෙක්)  , දැනෙන තුවාල අනතුරු ඇත්න්ම ඒවා ආරක්ෂිතව ආවරණය කර ගැනීම , විශේෂයෙන්ම සෞඛ්‍ය කණ්ඩායමේ සාමාජිකයන් රෝගය පිළිබඳව දැනුවත්ව සහ සැළකිළිමත්ව කටයුතු කිරීම තමයි මෙම අවස්ථාව වන විට “පරිස්සම් වන්නට “ කළ හැකි දේ .


    මෙ පිළිබඳ පර්යේෂණ කරන ආයතන කිහිපයක් ප්‍රකාශ කරන විදියට තවත් මාස හත අටක් යත්දි එබෝලා වෙනුවෙන් යම් ප්‍රතිකාරයක් සොයා  ගන්නට ලැබේයැයි අපේකෂා කරන්නට පුළුවන් . නමුත් ...!
    දැනුවත් වීම සහ පරිස්සම් වීමට කල් ගත කරන්නට අවශ්‍ය නැහැ.
    “ලොකු මිස් , දැන් නම් පේෂන්ට් නිදි , ඩxxxම් ඉන්ෆියුෂන් එක යනවා , හිටපු ගමන් ස්පැස්ම් ආවට ,සෙඩේට් වෙලා  ....එහෙම නම් මම යන්නද ලොකු මිස් , ...... නංගි ඩියුටි ඉන්නවා , අපෙ ජයන්තත් ඉන්නවනේ , බය වෙන්න දෙයක් නැහැ“  යක්කු ගස් නගින යාමේ ලොකු මිස්ට කෝල් කළා , එහෙම නොකළොත් හෙට එළිවෙන කම්ම හිතේ කළබලෙන් ඉඳීවි.  තමන්ගේ රෝගීන් ගැන වගේම තමන්ගේ ඒකකය ගැනත් පුදුම කැපවිමකින් කටයුතු කළ අපේ ඒකකය භාරව සිටි හෙද නිලධාරිනිය  අද විශ්‍රාම සුවයෙන් කල් ගෙව්වත් ,එදා කළ සත්කාරයන් ගැන මතක් වෙත්දි තවමත් හිතේ සතුට පිරිල ඉතිරෙනවා ඇති.

    “ නඟා , ...එහෙම නම් ජයන්තට කියන්න දොරවල් වහන්න කියලා , මම ගියා ...“ .... ඒකකයේ අයිනක නතර කරල තිබුණු හීරෝ හොන්ඩා බයිසිකලේ ස්ටාර්ට් කරගෙන මෝචරිය අස්සෙන් පාරට එත්දි  වෙලාව රෑ දොළහයි . ප්‍රශ්නයක් හිතේ , හෙට උදේට එත්දි මේ ජලභීතිකාවෙන් පෙළෙන අහිංසකයා ජීවත් වේවි ?

    එදා එහෙම වුනත් අද දැන් වෙලාවට උදේ දෙකයි . නිදාගන්නට වෙලාව.  එසේ නම් සමුගන්නවා ඔබ සැමට සුව සතුට පිරි දිනයක් පතමින්.

    සුබ නව වසරක් වේවා !

    $
    0
    0



    169) ඇගෙ හද පුරවන රිද්මය බිඳවන PPCM

    $
    0
    0
    කාළය  වසර දෙදහස් හතේ විතර , ස්ථානය හෘද දැඩිසත්කාර එ්කකය , වෙලාව උදේ හයයි පනහට විතර , ...

    “අයියේ .....මේ , සුනන්දනී , වයස  තිස් දෙකයි , ඊයේ මහමෝදරින් ට්‍රන්සෆර් කළේ, ඊෆ් අඩුයි , පීපීසීඑම් වගේ කියල තමයි ඩොක්ටර් කීවේ , අද තවම මෙහෙදි සර් බැලුවේ නැහැ , බ්ලඩ් රිපෝර්ට්ස් දෙකක් එන්න තියෙනවා , මෙන්න ඔබ්සර්වේෂන්  චාර්ට් කළා , ලැසික්ස් යනවා තවම .  “
       

     “  උදේ සේවා මුරය බාර දෙන්න රෝගියාගෙන් රෝගියාට යන ගමනේ එක් ඇඳක් ළඟදි මගේ හෙද මිතුරිය එක දිගටම කියාගෙන ගිය විස්තරේ හැමදාම ඇහෙන එක වගේම වුනත් , මොකක්දෝ පොඩි හුරු පුරුදු බවක් දැනුන  ,

    සුනන්දනී“ මගේ පාසල් කාළේ එකම පාසලේ හිටිය මගේ මිතුරියකගේ නමක් . පෙනුමත් ඇය වගේමයි .


    “කොහොමද සුනන්දනී ? .“


    ඇය මගේ මුහුණ දිහා බලල හිනාවෙන්න උත්සාහ කළා ,


    “බය වෙන්න එපා සුනන්දනි , පුරුදු වාට්ටුව වගේ නෙවි ඇති මේක , ඒ වුනාට ඔයාට ඕන කරන බහෙත් පරික්ෂණ , වගේම ඔයාව බොහොම පරිස්සමින් බලාගන්නත් ඕන  නිසා තමයි මේ වාට්ටුවට එවල තියෙන්නේ , 

    විවේක ගන්න , මොනම හරි ඕනකමක් තියේනම් , නැගිටින්න මහන්සි වෙන්න එපා , අපට කියන්න , නැත්නම් ඔය අතගාව තියෙන කොළපාට බොත්තම තද කරන්න . එහෙම නම් අපි අනිත් අයත් එක්කත් කතා කරල එන්නම් , “ 


    ඇගේ ඇඳෙන් ඈත් වෙලා ඊළඟ ඇඳට යන්න ගියත් ඇය මොකක්දෝ කියන්න හදනවා


    “අැයි සුනන්දනී , ?“ ඔක්සිජන් ලබා දෙන මුව වැස්ම පොඩ්ඩක් එහා මෙහා කළේ ඇය කියන්නට තනන දේ හරියට අහගන්න


    ‘‘අපේ මහත්තයට කියන්න ..එනකොට ....ගේ පිංතූරයක් ......අරගෙන ....එන්න ...කියල“ අමාරුවෙන් වදන එකතු කරනවා ඇය .


    “අයියේ ඔය කියන්න හදන්නේ , මෙයාගේ මහත්තයට කියන්නලු , බබාගේ පිංතූරයක් අරගෙන එන්න කියල , ඊයේ ගෙනා වෙලාවේ ඉඳළ කියනවා , අපි ඊයේ රෑම එක‍්ස්චේන්ජ් එකෙන් කොල් එකක් දුන්න , ......අපි ඊයෙම කීව ගෙදරට , අද දවල්ට එනකොට අරගෙන ඒවි සුනන්දනී “ මගේ මිතුරු හෙද නිලධාරිනිය කතාවේ අගමුල පැහැදිලි කළා .

    ඊළඟ රෝගීන් ටිකත් බාර දීම් , බාර ගැනීම් ඉවර වුනාට පස්සෙ අපි උදේ සේවා මුරය ආරම්භ කළා . මූලික වැඩ කටයුතු නිමා කරල අළුත් රෝගීන්ගෙ ඇඳ ඉහපත් ( ඒකියන්නේ ටිකට් එක Bed Head Ticket - BHT) ගන්නේ ඔවුන් පිළිබඳ සෞඛ්‍ය තොරතුරු , රෝග තත්ත්ව ගැන දැන ගන්න . මුලින්ම ගත්තෙ “සුනන්දනී“ ගේ  විස්තර ටික බලන්න ගත්තා .


    අවුරුදු තිස් දෙකයි, එක් දරු මවක් , දරුවට සති දෙකයි  , ගර්භනී කාළයේ කිසිම විශේෂ රෝග තත්ත්වයක් තිබිල නැහැ . සෞඛ්‍ය පුරුදු , රෝග ඉතිහාසය , පවුලේ අයගේ රෝගී තත්ත්ව .. කිසිම තැනක විශේෂත්වයක් දකින්න නැහැ,  ඒත් අද තත්ත්වය , පෙහළුවල තරළය පිරිලා , හුස්ම ගන්න අමාරු, හෘදයේ ක්‍රියාකාරීත්වය අඩුයි , රුධීර පීඩනය අසාමාන්‍යයි ...  කළ පරික්ෂණ අනුව අපේ විශේෂඥ වෛද්‍යවරයා රෝග විනිශ්චය ලබා දීල තිබෙන්නේ PPCM එහෙම නැත්නම් Peripartum Cardiomyopathy කියන තත්ත්වය විදියට .


    .

    .
    .
    දින කිහිපයක් ගත වුනා , ඇය දැඩි සත්කාර ඒකකය තුල හැමෝම හඳුනන කෙනෙක් බවට පත්වුනා. අළුත් උපන් දරුවගේ පිංතූර පොතක් අපි හැම කෙනෙක්ගෙම අතේ රැඳවු ඇය , ඒ පිංතූර තුලින්  සුන්දර කිරි සිනහවේ සතුටු අප ද විඳිනු දැකීමට මහත් රැචියක් දැක්වූවා. තවත් දින කිහිපයක් ගලා ගියා , 

    මතකයේ හැටියට ඇය දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර පස්වන දිනය . උදා සේවා මුරය අරඹන්නට තිබුණේ හෘද සත්කාර ඒකකයේම වෙනත් කොටසක වුවත් , නිකකමට වගේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු වුනා .

    හැමෝම අපෙ ඒකකයෙ මැද තිබෙන “නිරීක්ෂණ ඒකකයට Observation center “ එකතු වෙලා , හෙද වෙද කම්කරු සියළුම දෙනා සෝ බරිතව ..., 

    ඇගේ ඇඳ තවත් සම්පුර්ණයෙන් වැසෙන්නට තිරයක්.... , 
    ඇඳ අසල හදිසි ප්‍රතිකාර ඖෂධ... , 
    හෘද කම්පන උපකරණ , ස්කෑනින් යන්ත්‍රය ...සිතා ගත හැකියි සිදුවීම ....


    “ඔව් අය්යේ , දැන් පොඩ්ඩකට ඉස්සර වෙලා සුනන්දනි නැති වුනා , ඊයේ රෑ දෙපාරක් ඇරෙස්ට් වුනා, අපේ සර් රෑම ඇවිත් බලල ඩ්‍රග්ස් වෙනස් කළා , ආයෙත් උදේ හයට විතර . හරිම දුකයි අයියේ , මට මතක් වෙන්නෙම අර පුංචි කෙල්ලව , “ මගේ මිතුරියක සිදුවීම විස්තර කළා .


    “අනේ මිස් මේ බලන්න .....“ සුනන්දනීගේ මිය ගිය සිරුර , පිළීයෙල කරමින් සිටි අපේ කණිෂ්ඨ සේවා සොයුරියකගේ කෑගැසීම , දඩි සත්කාර ඒකකය දෙවනත් කළා වගේ . අපි හැමෝම එතැනට දිව ගියේ සිතන්නට මොහොතක්වත් නොවී . 


    “මේ බලන්න , .....“ ඇය මෘත සිරුරේ ඇඳුමක් එහා මෙහා කරමින් යමක් පෙන්වනවා .ඇගේ උඩුකය ඇඳුමට ඇතුළින් , පුංචි පැටියෙක්ගේ පිංතූරයක් , දහදියෙන් හෝ එරුණු කිරි වලින් පෙඟීගිය ඒ කිරි කැටියාගේ පිංතූරය දුටු අපි අතරේ සිටි කිසිවෙක් නොහැඬුවා මට මතක නැහැ. 


    මේ දවස් කිහිපය පුරා “සුනන්දනී , පුංචි පැටිය මේ විදියට තුරුළු කරගෙන හිටි බවක්  දන්නේ දැන්“ මේ සිදුවීම වෙලා අදට අවුරුදු ගණනක් ගියත් , එහි සේවය කළ අපි හැමෝටම කිසිම දවසක එය අමතක නොවන බව මට විශ්වාසයි.

    (සුනන්දනී යන නම හැරෙන්නට මේ සිදුවීම , කතා පුවත මා සේවය කළ කාළය තුල මා දුටු සත්‍ය සිදුවීමක් බව කියන්න ඕන) 

    සුනන්දනීගේ ජීවිතයට අසුන්දර නිමාවක් එක් කළ එම රෝග තත්ත්වය පිළිබඳව යම් තරමකින් දැනුවත් කිරීම තමයි මේ ලිපියේ මීළඟ අරමුණ, ඒ “සොඳුරු සුව අසපුවේ “ ආකෘතිය . 

    එහෙම නම් අද මාතෘකාව Peripartum Cardiomyopathy , මුලින්ම කියන්නට ඕන මේ රෝගයට යෙදෙන සිංහල නම පිළිබඳ මම දැනුවත් නැහැ , කියවන ඔබ අතරේ ඒ පිළිබඳව දැනුවත් අයෙක් සිටී නම් සටහන් තබනු ඇතැයි සිතනවා . 

    රෝගයේ සිංහල නම නොදනිතත් , රෝගයේ නම සිංහලෙන් මෙන්න මෙහෙම විස්තර කරන්න පුළුවන්. Peripartum කියන්නෙ ගර්භනීත්වයේ අවසාන මාසය සිට උපත සිදුවීම සහ දරු උපතින් මුල් සති කිහිපය කියන කාළ සීමාව , එතකොට Cardio කියන්නේ හෘදය සම්බන්ධ කියන එක , myo කියන්නේ පේෂිමය කියන අදහස  pathy කියන්නේ රෝගී / අසාමාන්‍යතාව වගේ අරුතක් . 

    මේ විදියට කෙටියෙන් කීවත් PPCM කියන්නෙ හරිම සංකීර්ණ රෝග තත්ත්වයක් , කොයි තරම්ම සංකීර්ණදැයි කීවොත්  , රෝගය ඇති වන්නට හරිම හේතුව මෙය යැයි තවමත් සොයාගෙන නැහැ. අවදානම් සාධක හඳුනාගත්තත් ප්‍රධාන සාධකය තවමත් සැඟවී ඇත්තෙ. එතෙක් අපි අවදානම් සාධක වලින් ආරම්භ කරමු , මොකද නොදන්නා දේට පෙර දන්නා දේ කියන න්‍යාය වැදගත් නිසා. 

    මොනවද මේ අවදානම් සාධක , 

    • වියපත්ව ගර්භණීත්වයට පත්වීම ( සමාවන්න “වියපත්ව“ යනුවෙන් හැදින්වීම පීළිබඳව , නමුත් මවට වයස අවුරුදු 30 හෝ ඊට වැඩි වීම PPCM සඳහා අවදානම් සාධකයක් බව 2013 දී නිකුත් කළ වෛද්‍ය පර්යේෂණ වාර්තා පෙන්වා දෙනවා
    • දරුවන් එක් අයෙකුට වඩා පිළිසිඳ තිබීම( ඒක අවස්ථාවකදි) , තව විදියකින් කිව්වොත් නිවුන් , සිව්නිවුන් වැනි අවස්ථා වල යම් අවදානමක් තිබෙනවා. නමුත් විශේෂයෙන්ම මතක තබා ගත යුතු දේ මේ රෝග තත්ත්වය අතිශ්‍යයින්ම , අතිශ්‍යයින්ම දුර්ලබ රෝගතත්ත්වයක් බව .
    • පෝෂණ ඌනතා / නිරක්තිය සහිත ගර්භනී මවුවරුන්
    • ස්වයං ප්‍රතිශක්තික රෝග සහ කාළීන රෝග තත්ත්ව සහිත මව්වරුන් (සරළව කිව්වොත් , කාළිනව පවතින පාළනය නොකළ හතිය හෝ අධිරුධීර පීඩනය තත්ත්වය වුනත් මීට දායක වෙන්න පුළුවන් ,)
    • වෙනත් හෘද රෝග සහිත වූනන්.
    • අධික දුම්පානය හෝ අධීක ද්විතීක දුම් ආග්‍රාණයටපත්වූ මව්වරුන්
    • පවුලේ ළඟම අයෙක් (මව , සොයුරියක) මෙවන් තත්ත්වයට පෙර පත්ව ඇත්නම් 

    ඔය වගේ ලිස්ට් එකක් ලියාගෙන යන්නට හැකි වුනත් , මේ තමයි හඳුනාගත් ප්‍රධාන අවදානම් සාධක . හොඳට මතක තබා ගත යුතු දේ අවදානම් සාධක යනු , මේ ලක්ෂණය ඇත්නම් අනිවාර්යයෙන්ම රෝගයට ඇතිවේ කියන එක නොවේ , යම් අවදානමක් ඇති බවසහ ඒ අවදානමට අදාල පූර්ව සූදානම් ගැනීමේ වැදගත් කම හඳුනාගැනීමයි .ඒ හරියට , “පරිස්සමින් පාරේ යන්න “ කියන උපදෙස දුන් පමණින් , පාරෙ යන සියල්ලන් රිය අනතුරු වලට පත්වෙනවා යයි නොහඟවනමුත් , අවදානමක් ඇති බව සහ ආරක්ෂාකාරීව ගමන් කළ යුතු බව පෙන්වා දීමක් වැනිමය.

    දරු ප්‍රසූතියට සුදානම් වන අවසන් මාසය තුල හෝ දරු උපතින් මුල් සති කිහිපය තුල මතුවන්නට පුළුවන් මේ රෝගයේ මුලික ලක්ෂණ ආරම්භ වන්නේ , මද උණ ගතියක් , ඇඟ පතේ තෙහෙට්ටුවක් , දැඩි වඩාපත් බවක් එක්ක , නමුත් මේ කාළ සීමාව තුල ගර්භණී මව මුහුණ දෙන වෙනස් වීම් එක්ක මම ලක්ෂණ වෙන් කර හඳුනා ගැනීමට හුඟක් අපහසුයි. (නමුත් අවදානම් සාධක තුල ඇති මව් වරුන් , නිසි වෛද්‍ය පරික්ෂණකයට යොමු වෙනවා නම් මෙය මුලික ලක්ෂණයක් ලෙස හඳුනාගන්නට ඉඩ වැඩියි) 

    මේ ලක්ෂණ සමඟින්ම හුස්ම ගැනීමේ අපහසුවක් , විශේෂයෙන්ම හාන්සි වෙලා ඉඳිත්දි හුස්ම ගන්නට අපහසුබවක්,හුස්ම ගැනීමෙදි සෙම පිරුණු බවක්  , අසාමාන්‍ය මහන්සි ගතියක් , බඩ පුරවා දැමූ වැනි ස්වභාවයක් දැනෙන්නට පුළුවන් , විටින්න විට ඇති වන ගැඹූරු කැස්සක් එක්ක පපුවේ , උදරයේ තව වේදනාවක් මතුව  නැතිව යන්නට පුළුවන්. ඒ ඒකකම පපුව ගැහෙන ගතියක් , ඒ කිව්වෙ “තමන්ට දැනෙන ගැස්මක් “ මතුවන්නට පුළුවන් , පාදයේ විළුඹ ප්‍රෙද්ශය වෙනදාට වඩා ඉදිමුණු , තඩිස්සි වුනු බවක් මේ එක්කම පෙන්වන්නට ඉඩ තිබෙනවා . 

    පිංතූරය http://www.fightppcm.org පිටුවෙන් 
    මේ ලක්ෂණ කිහිපයක් මතු වීමේදිම “වෛද්‍යවරයා “ වෙත යොමු වුනොත්  , ඔහු මුලික පරික්ෂණයකට පස්සෙ සරළ රැධීර පරික්ෂ කිහිපයක් කරන්නට ඉඩ තිබෙනවා , විය හැකි වෙනත් සාධක හඳුනාගනිමින් නියම රෝග ලකෂණයට එන්නට එය වැදගත් , 

    ඉන් අනතුරුව පපුවේ එක්සේ එකක් ගනීවි, බොහෝ දුරට මේ සමඟින් රෝගය PPCM  ද කියන මූලික සැකය වෛද්‍යවරයාට ඇතිවන්නට පුළුවන් , මක් නිසාද රෝගයෙදි අසාමාන්‍ය ලෙස සිදුවන හෘදයේ පේෂි දුර්වල වීම නිසා , හෘදය තුලට  එන ලේ ඉන් ඉවතට තදින් පොම්ප කිරීමේ හැකියාව අඩුවෙනවා , ප්‍රතිපලය හෘදයේ කෝෂිකා තුල ලේ එක් රැස්වෙන්නට පටන් ගන්න එක , ඊළඟට ප්‍රධාන රුධිරවාහිනි තුල , මේ ලේ එක් රැස්වීම් නිසා රැධීර සංසරණ පද්ධතිය තුල අසාමාන්‍ය පීඩනයක් ඇතිවෙන්නට පටන් ගන්නවා , ප්‍රතිපලට ලේ නහර තුලින් දියරමට කොටස් කාන්දු වීම , එහි ඊළඟ ප්‍රතිපලය පෙනහලු තුල එය දියරමය කොටස් එක් රැස් වී හුස්ම ගැනීම අපහසු කිරීම , මේ ලබා ගත් එක්රේ ඡායාරූපය තුල හෘදයේ , ප්‍රධාන ධමණියේ සහ පෙනහළුව තුල සිදුවන මේ වෙනස්කම් සටහන් වෙනවා. 

    මෙතැනින් පසු බොහෝ දුරට රෝගියාව හෘද විශේෂඥ ඒකකයකට මාරු කරන්නට ඉඩ වැඩියි , නැත්නම් හෘද විශේෂඥ උපදෙස් ලබා ගන්නට වෛද්‍යවරයා කටයුතු කරනවා. එහිදි කරන හෘද ස්කෑනින් පරික්ෂණ , හෘදය තුලට කැතීටරයක් යවා කරන (මේ පිළිබඳ පෙර ලිපියක කතා කළා) ඇනිජියෝග්‍රෑම් පරික්ෂණ වැනි පරිකෂණ දාමයක ප්‍රතිපල ඔස්සේ රෝග තත්ත්වය තහවුරු කරගන්නට පුළුවන්.

    මේ රෝගයටම යැයි විශේෂිත වූ ඖෂධයක් නැති වුවත් , සාමාන්‍ය හෘද රෝග තත්ත්ව වලදි යොදා ගන්නා ඖෂධ කාණ්ඩ කිහිපයක් මඟින් ක්‍රමාණූකූලව ප්‍රතිකාර ලබා දෙමින් , හෘද පේෂියට ඇති වී තිබෙන පීඩනය අඩු කරමින් දැඩි නිරික්ෂණ තත්ත්වයේ රෝගියාව තබා ගන්වන්නවා . සාමාන්‍යෙයන් දින 5-8 තුල රෝගයේ උච්ච අවස්ථාව අඩුවුවත් , බොහෝ අවස්ථාවල අවම වශයෙන් සති කිහිපයක් දකවා වූ ප්‍රතිකාර මාලාවකට , යොමු වන්නට සිදුවනවා. නිසි ප්‍රතිකාර ලබා ගත්හොත් රෝග තත්ත්වය සුව වීමේ ප්‍රතිශතය 90-95%ක් තරම් ඉහළයි ,නමුත් යම්  පිරිසකට දිගු කාළීන ප්‍රතිකාර මත තම ජීවිතය ගත කරන්නට වන්නටත් පුළුවන් . කෙසේ වුවත් නැවතත් මතක් කර දිය යුත්තේ මෙම රෝගය වැළඳුනත් , සුව කරගැනීමේ හැකියාව ඉහළයි , ඒ නිසි ප්‍රතිකාරයට යොමු වුවොත් .

    නමුත් වැදගත්ම දේ නැවත වතාවක් PPCM තත්ත්වයට පත් නොවීම , ඒ සඳහා රෝග තත්ත්වය සහ වයසට අනුකූලව ලබා දෙන ආහාර , ව්‍යායාම , ඖෂධ උපදෙස් පිළිපැදීම ප්‍රධානම අවශ්‍යතාවයක් , ඒ වගේම අතිශ්‍යය සංවේදී නමුත් වැදගත්ම පරිස්සම් වීම , ඒ තමයි තවත් දරු පිළිසිඳ ගැනීමක් ඇති කරගන්නට පෙර ඊට සුදුසු තත්වයක් මව සිටීදැයි තහවුරු කරගැනීම , ඒ සඳහා විශේෂඥ වෛද්‍ය උපදෙස් , පරික්ෂණ ගණනාවක් කෙරුණත් , මවගේ හෘද පේෂියට වූ ආපදා තත්ත්වය ඉහළ නම් බොහෝ අවස්ථාවල ලබා දෙන උපදෙස වීම ඉඩ ඇත්තෙ , “තවත් දරුවන් පිළිසිඳ නොගන්නවා නම් වඩා ආරක්ෂාකාරීයී “ කියන පිළිතුර වන්නට පුළුවන්.

    නමුත් , ඒ උපදෙස ලබා ගන්නට සුනන්දනි රැඳුනේ නැහැ අප අතර , ඇය යන්න ගියා , ආදරණිය සැමියාගේ , කිසිවක් නොදන්නා දරු පැටියගේ , අප හැමෝගෙම හිත වලට දුකක් එක් කරමින් ඇය යන්න ගියා , 

    ඒත් වෙනද වගේම උදෙ පාන්දර කෑම බීම , පිරිසිදු කරගත් ඇදුම් පැළදුම් අරගෙන කඩිමුඩියේ දැඩිසත්කාරයේ ඇඟළුම් දමාගෙන දුව ගෙන ආ ඇගේ ආදර සැමියාට සිදුවීම විස්තර කරන්නට අපේ වෛද්‍ය නිලධාරිවරයා ගත් උත්සාහය , ඒ සියල්ලට පසු සුනන්දනීගේ දරු සෙනෙහෙසින් ගලා ගිය කිරි වලින් තෙමුණු , කිරි කැටියාගේ පිංතූරය සිප ගනිමින් ඔහු වැලපුනු අයුරු මේ ලියන මොහොතේ පවා ඇසට කඳුලක් එක් කරන තවත් එක් සුවිශේෂී සංවේදී මතකයක් විය මට . 

    ඉතින් අදට මේ ලිපිය මෙතැනින් නිමා කරන්නටයි සුදානම , ලැබෙන විවේකයේ අගහඟකම් නිසා “සොඳුරු සුව අසපුවට“ ලිපි එක් වීම ප්‍රමාද වුවත් , ඉඩක් ලද විටෙක මීළඟ ලිපිය එක් කරන්නට සිත දරාගෙන සමුගනිමි, ඔබ සැමට සුව සතුට පිරි දිනයක් පතමින්.

    තවත් කියවන්න 
    http://www.fightppcm.org/#!about-ppcm/cjg9

    170) ලොකුවට නොහිතන පොඩිවුන් රැක දෙන “යට ඇඳුමේ කතාව“ !

    $
    0
    0
    ටික කාළයකට පස්සෙ , වෙනස් වීම් ගණනාවක් එක්ක ,තරඟ කරන්නට වූ නිසා පහුගිය කාළය පුරා වරින් වර
     ඇවිත් “සිංහල බ්ලොග්“ අතරේ එබිකම් කරත්  , අළුත් යමක් ලියන්නට අවස්ථාවක් ලැබුණෙ නැහැ. ඒත් දැන් සංක්‍රාන්ති සමයේ නිමාවක් දැනෙන නිසා අයෙත් මේ විදියට ලියන්නට සිත පෙළඹුවා. 

    අද මාතෘකාවටත් “වෙනස්වීම“ කියන සංකල්පය හුඟක් ළං වෙනවා , ඒ කියන්නේ අද ඉතින් “කාළෙ වෙනස්“ , “තාලේ අළුත්“ කියලනේ හුඟක් අය කියන්නේ . ආර්ථිකය , සමාජීය වට පිටාව , පවුල් බැඳීම් වගේම තවත් බොහෝ දේ “විපරියාසකට“ පත් වෙලා කියල කෙනෙක්ට දැනෙන්න පුළුවන්.  


    පිංතූරය  adaring.comවෙතින්
    පිය නගන්නට හදන මාතෘකාව පැත්තට ගියොත් , මීට අවුරුදු දහයකට විතර ඉස්සර ගම්වල ලොකු “කසුකුසු“ මතුවුනේ , ගමේ ඉලන්දාරියෙක් එක්ක , ගැටිස්සියෙක් රෑ යාමේ පැනල ගිය වගේ අවස්ථාවක් තමා. ඒත් අද ඒ කසු කුසු වලින් එහා ප්‍රධාන ජනමාධ්‍ය වල කියැවෙන කතා අතරේ ,ටියුෂන් පන්තියේ ගුරුවරයා , පහේ පංතියේ පුංචි කෙල්ලෙක්ට කරපු කරදරයක් ගැන , නැත්නම් අල්ලපු ගෙදර මාමා තමන්ගේ ඥාති පුතාට “අසභ්‍ය වීඩියෝවක් “ පෙන්නපු කතාවක් , එහෙම නැත්නම් තමන්ගේම තාත්ත , තමන්ගේම දුවව දුෂණය කරපු ප්‍රවෘත්තියක් , එහෙම නැත්නම් තමන්ගේ පෙම්වතා යැයි කියා ගන්නා කෙනෙක් තම  නිරුවත් ඡායාරූප වෙන්දේසී කරන්නට යන කතාවක් .....ඔය වගේ මාතෘකා වැලක් හොයා ගන්නට හරිම පහසුයි . මේ විකෘති රිද්මය දැන් දැන් පාසල් යන දරුවන් වෙත , විශේෂයෙන්ම ප්‍රාථමික ශ්‍රේණීවල දරුවන් ( පහුගිය දවස් වල ශිෂ්‍යත්ව පංති වල දරුවන් මෙවන් අපහසුතා පත්වුනු ප්‍රවෘත්ති දකින්නට ලැබුණා ) සහ  සාමාන්‍ය පෙළ ආශ්‍රිත දරුවන් වෙත  යොමු වෙමින් තිබෙන බවක් පෙනෙනවා. 

    ලෝකය පුරාම කළ සංගණනයකට අනුව දරුවන් පස් දෙනෙක් ගෙන් එක් අයෙක් වත් මෙලෙස යම් ආකාරයක ලිංගික අපයෝජනයකට ලක් වන බව සොයාගෙන තිබෙනවා. මේ ප්‍රවණතාව මත තම දරුවන්ට “තම අාරක්ෂාව “ පිළිබඳව විශේෂයෙන්ම මාතෘවක අදාලව සහ සිදුවන අපරාධවල ස්වභාවය අනුව ,“ලිංගික අපයෝජකයන්ගෙන්“ තම දරුවාව රැක ගන්න දරුවාට දැනුමක් ලබා දිය යුතු බව පිළිගන්නා දෙමාපියන් අප අතර සිටියත් , 
    “ඔය දේවල් ගෙදර කතා කරන්න පුළුවන් ?
    අපේ ළමයි ඕව කරන්නෙ නෑ ?
    අපෝ අපේ ළමය පස්සෙන්ම මම යනවා , ඕවට ඉඩ නෑ ? “ වගේ සංකල්ප පුරවා ගත් දෙමාපියනුත් අප අතරේ ඉන්නවා .  ඒ හැම කෙනෙක් එක්කම කතා කරන්නට තමයි අද මේ සටහන වෙන් කෙරෙන්නේ .

    මේ ගැන කතා කරත්දි අප හැමෝගෙම හිත්වලට එන පොදු ප්‍රශ්න කිහිපයක් අරගෙන ඒ ඔස්සෙ සටහන ඉදිරියට ගෙන යාම තමයි බලාපොරොත්තුව , මොනවද අපට එන ප්‍රශ්න ?

    1. ඇයි ළමයින්ට ඔය ගැන කියන්නේ ? 
    2. දැන් කාගෙන්ද ළමය පරිස්සම් කරගන්න ඕනේ ?
    3. අපේ ළමය තවම පොඩියි , මොන වයසෙදි දි ඔය ගැන කියල දෙන්න ඕන ?
    4. ඕව ගැන ළමයි එක්ක කතා කරන්න පුළුවන්? අනෙක ඉස්කොලෙන් නේද කියල දෙන්න ඕන ?
    5. ඕව කියල ළමය නරක් වේවිද ?
    6. අපේ කොල්ලනේ , අපට බයක් නෑ ?
    • ඇයි ළමයින්ට ඔය ගැන කියන්නේ ? 
      • ලිංගිකත්වය සහ ඒ ආශ්‍රිත චර්යාවන් හැම කෙනෙක් තුලම යම් අවස්ථාවක හෝ කුතුහලය උපදවන ඒ කුතුහලය ඔස්සේ තවත් දේ සොයන්නට පෙළඹෙන සංකල්පයක් . වයස  අවුරුචු 3-6 අතර සීමාවකින් තීව්‍රවීම ආරම්භ වන මේ “කුතුහලය“ වයස 12-15 සීමාවෙදි ඉහළ සීමාවකට ලංවෙනවා , දෙමාපිය බලපෑම ඔස්සේ හෝ ඔවුන් කියාදෙන “හොඳ නරක සංකල්පය මත“ ,  “බලෙන් යටපත්“ කළත් ඒ ලිංගික කුතුහලය ඉඩක් ලද විට උඩට මතුවන , බලෙන් වතුට යට රිංගවා ඉන්න රබර් බෝලයක් වගේ. ඉතින් මේ “නලියන කුතුහලයෙන්“ සිටින දරුවාව ගොදුරක් කරගන්න එක අපයෝජකයෙක්ට සාපේක්ෂව පහසු දෙයක්. ඒ වගේම මේ වයසේ දරුවන් “මේ ගැන දෙමාපියන් එක්ක කතා කරන්න තිබෙන බිය / ලැජ්ජාව“ නිසා හෝ තර්ජනය මඟින් නැත්නම් වෙනත් උපක්‍රම මඟින් දිගින් දිගටම තම ගොදුරක් බවට පත් කරගන්නට ඔහු හෝ ඇය (ලිංගික අපයෝජකයා , හොඳට මතකයේ තබා ගන්න , අපයෝජකයා යනු පිරිමියෙක් හෝ කාන්තාවක් විය හැකි බව ) පෙළබෙනවා. විශ්ෂයෙන්ම “විරුද්ධව සටන් කරන්න ශක්තියක් නැති මේ ගොදුර “ මේ සිදුවීමේ අවසානයේ කායිකව සහ විශේෂයෙන්ම මානසිකව දුබල , පෞරුෂත්වය බිඳුනු තත්ත්වයකට පත්වීම , ඒ බිඳීම යම් විටෙක ජීවිතය නිමා කරවන බිඳුමක් වන්නටත් ඉඩ තිබෙනවා එසේ නොවනුනත් ළමා විය තුල සිදුවනු “කළු ලපය“ දරුවා වැඩිහිටියෙක් වූ දාටත් මානසික , චර්යාත්මකව නරක බලපෑමක් ඇති කරන්නට පුළුවන් වගේම  සමාජ විරෝධී තරුණයෙක් තරුණියක් ඇති වන්නටත් හේතු වන්නට පුළුවන් බව මේ පිළිබඳව කළ පර්යේෂණ අනුව කියැවෙනවා.  අන්න ඒ නිසා තමයි දරුවන් මෙවන් ආපදා වලින් රැක ගැනීම සඳහා “අවදානම සහ පරිස්සම“ ගැන දරුවන්ට කියා දිය යුතු වන්නේ.  

      • දැන් කාගෙන්ද ළමය පරිස්සම් කරගන්න ඕනේ ?

        • ඔබට හිතේවි මොන මෝඩ ප්‍රශ්නයක්ද කියල මේ , නමුත් මේක ඇත්තටම ප්‍රශ්නයක් . අපේ ළමය රැක ගන්න ඕන ගමේ ඉන්න “නරක ළමයිගෙන්ද“ බසේ එකේදි ඇඟට තෙරපෙන “අංකල්ලගෙන්ද“ , එහෙම නැත්නම් ස්කූල් වෑන් එකේ “අයිය“ගෙන්ද ?  මේක අද දවසේ හරිම ප්‍රශ්නයක් , පහුගිය දවසක මගේ පාසල් මිතුරෙක් සමඟන් කතා කරත්දි අහන්නට ලැබුණේ මගේ පාසල් මිතුරෙක්ගේ දියණියකට , ඒ මිතුරගේම ගුරුවරයා (අද වයස අවුරුදු හැට පහකට වැඩි ඇති) විසින් යම් අපරාධයක් කළ බව , අදා අපේ වැදුම් ලබපු ඒ ගුරුවරයා මේ වගෙ අපරාධයක් කරා නම් , අම්ම නැති ගෙදර තාත්ත තම දුවව  අඹුකමට තියා ගත්තා නම් ඔබ කාවද සැක කරන්නේ ? කාවද විශ්වාස කළ යුත්තෙ ? 
        • අන්තර්ජාලය ජංගම දුරකථන සේකස්ටින් එක්ක අද  ලිංගිකත්වය සහ ඒ ආශ්‍රිත චර්යාමය තත්ත්ව පිළිබඳ “කුතුහලය“ උන්මාදයක් බවට පත්කරලා , ඒ උන්මාදයට ගොදුරු වෙමින් තිබෙන්නෙ යොවුන් දරුවන් පමණක් නොවේ ,  වැඩිිහිටි මහළු හැම වයස් සීමාවකම  කෙනෙක් මේ තත්තවයට ගොදුරු වෙන්නට ඉඩ අවස්ථා වැඩියි (පහුගිය දවස් වල මුහුණූපොත ඒ තත්ත්වයට සාක්ෂි දුන්නා)  . එවන් තත්ත්වයක් යටතේ හොඳම දේ අනෙකාව සැක  කරනවාට වඩා තමන්ගේ දුවට ,පුතාට  “තම ආරක්ෂාව ගැන“ දැනුවත් කරන එක.
        • ඒ වගේම ළමුන් ලිංගික අපයෝජනයට ලක් කළ වැඩි පිරිසක් (93%) , දරුවා දන්නා අයෙක් වීමක් , ඉන් බහුතරයක් පවුලේම කෙනෙක්  වීමත් , මේ සිදුවීමට පෙර දරුවා සමඟ හිතවත්ව විශ්වාසය දිනාගත් අයෙක් වීමත් බහුලව දකින්න පුළුවන් බවයි මේ පිළිබඳ විශ්ලේෂණය කරන්නන් පැහැදිලි කරන්නේ. 

        • අපේ ළමය තවම පොඩියි , මොන වයසෙදි දි ඔය ගැන කියල දෙන්න ඕන ?

          • මේ ප්‍රශ්නය ටිකක් සංකීර්ණයි , ඒ අපේ ගතානුගතික මත , සංස්කෘතික බැඳීම් සහ අද සමාජියේ ප්‍රවණතාවන් එක්ක ගැළපීමක් කරන්නට සිදුවෙනවා . කෙසේ වුවත් දරුවා ගෙදර පරිසරයෙන් , දෙමාපිය සෘජු රැකවරණයෙන් මිදිල “පෙර පාසලට“  හෝ ප්‍රාථමික පාසලට යන  වයසේදිම මේ කටයුත්ත ආරම්භ කරන්න  පුළුවන් , මහ ලොකු දේවල් නොවෙයි , තමන්ගේ ඇඟ , අඟේ කොටස් , පිරිසිදුකම , ඇඳුම් අඳින විදිය , කෙනෙක් දරුවව ආදරේට අල්ලනවා නම් , ස්ඵර්ශ කරනවා නම් හාදුවක් දෙනවා නම් එය කෙරෙන විදිය , එසේ සාමාන්‍ය නොවන වෙනස් ස්පර්ශයන් කෙරෙනවා නම් එයට “එපා කියන්නට“ දරුවාට කියා දෙන්න පුළුවන් . පිහිනුම් ඇඳුමකින් / යට ඇඳුමකින් ඉන්න දරුවෙක්ගේ පිංතූරයක්  පෙන්නල , ඒ
            ඇඳුමෙන් වැසෙන ප්‍රෙද්ශය “තමන්ගේම බවත්“ වෙනත් අය නොබලන , නොඅල්ලන බව ක්‍රමයෙන් කියාදෙන්නට පුළුවන් . 
          • වයස දහය දොළහ වන විට දරුවා තම ලිංගික අවයව , පිරිසිදුකම පවත්වා ගැනීමේ වැදගත්කම, ආර්තවය , වැඩිවිය පත්විම  , ගැහැණු පිරිමි වෙනස්කම් ගැන ටිකක් කතා කරන්න පුළුවන් වේවි. විශෙෂයෙන්ම මෙතැනදිත් අර නාන ඇඳුමෙන් වැහෙන ප්‍රෙද්ශය තමන්ගේ පෞද්ගලිකත්වය රැක ගන්න විදිය , ඇඳුම් අඳින ආකාරය ගැන මතක් කරන්නට පුළුවන් . ඒ වගේම දරුවගේ මිතුරන් , වැඩිහිටි පාසල් සිසුන් , සහ හිතවතුන් ගේ චර්යාවන් , දරුවන් සමඟ කතා කරන දේ , පෙන්වන දේ හෝ ලබා දෙන විශේෂ තෑගි බෝග පිළිබඳවත් තොරතුරු උපක්‍රමශීලීව දැන ගන්නට දෙමාපියන්ට පුළුවන් වෙන්නට ඕන. මෙතැනදි අම්මගේ තාත්තගේ නීති රිතී කියවනවා වගේම ,වැඩියෙන් දරුවට ඇහුම් කන් දෙන්නම ඕන , යම් සැක සහිත අවස්ථාවක් ගැන සිදුවීමක් ගැන දරුවා කියනවා නම් “දරුවාව බිය නොකර , සිදුවීම ගැන උපක්‍රමශිලීව දැන ගන්න එක‘‘ අනාගත විනාශයක් වලක්වා ගැනීමක් වෙන්නට පුළුවන්.

          • ඕව ගැන ළමයි එක්ක කතා කරන්න පුළුවන්? අනෙක ඉස්කොලෙන් නේද කියල දෙන්න ඕන ?

            • ඔව් මේව ගැන නිස ලෙසින් දරුවා සමඟ කතා කරන්නට පෞරුෂයක් , දැනුමක් දෙමාපියන්ට තිබෙන්නට ඕන , 
            • මේ පිළිබඳ අවශ්‍ය දැනුම ලබා ගන්නට දෙමාපියන්ට  අද ඕනෑතරම් අවස්ථා තිබෙනවා , මේ පිළිබඳවම ලියැවුනු උපදෙස් පොතපත ගමේ පුස්තකාලයකින් වුනත් ගන්න පුළුවන් , නැත්නම් අද අන්තර්ජාලය තුල දෙමාපියන් දැනුවත් කිරීමටම වෙන්වුනු පිළිගත් වෙබ් ගණනාවක් තිබෙනවා . 
            • ඔව් ප්‍රශ්නය දැනුම තිබුණත් මේ ගැන දරුවත් එක්ක කතා කරන එක නේ ? නමුත් මේ ඔබ කරන්නෙ දෙමාපියෙන් විදියට අද දවසේ කරන්නටම ඕන වැදගත් වගකීමක් , ඒ වගකීමේ බර හිතට ගන්න , දරුවත් එක්ක විවේක පාඩුවේ කතා කරත්දි පොඩ්ඩ පොඩ්ඩ් අවශ්‍ය දේ දරුවට කියා දෙන්න , එහෙම නැත්නම් දරුව මේයට අදාල සිදුවීමක් , ගැන කියත්දි එය “නරක කතාවක‘“ විදියට අවහිර නොකර දරුව දැන ගත් දේ කියන්නට ඉඩ දෙන්න , ඒ ඔස්සේ ඔබට පුළුවන් දරුවට යමක් කියා දෙන්නට .
            • පාසලෙන් විෂයයක් විදියට පමණක් නොවේ , දරුවන්ට මේ පිළිබඳ තිබෙන ගැටළු වලට  උත්තර හොයා ගන්න පොත පත , උපදේශන සේවා පාසල් තුල තිබිය යුතුමයි . 

            • ඕව කියල ළමය නරක් වේවිද ?

              • නිවැරදිම , දරුවාගේ වයසට ගැනපෙන විදියට මේ දේවල් කියා දෙන්න  පුළුවන් නම් දරුවා නරක් වෙන්නට ඉඩක් නැහැ , ඒ වගේම දරුවට නරකක් වෙන්නටත් ඉඩක් නැහැ . නමුත් මෙතැනදි දෙමාපියන්ගෙ දැනුවත් බව සහ  මේ කටයුත්ත කිරීමට ඇති කැපවීම හරිම වැදගත් , ඔබ එසේ දරුවට මේ “ආරක්ෂාව “ පිළිබඳ කියා නොදුන්නොත් දරුවා තම කුතුහලය සංසිදුවා ගන්නට වෙනත් අතකට යොමු වේවි , එය සම වයස් මිතුරෙක් , නැත්නම් අන්තර්ජාලය , පොත පතක් වන්නට පුළුවන් , මේ යොමු වීම් නිවැරදි ඒවා නම් කරදරයක් නොවේවි , එසේ නොවුනොත් ? 

              • අපේ කොල්ලනේ , අපට බයක් නෑ ?

                • එදා මෙහෙම කියන්න පුළුවන් වුනත් අදට එය හුඟක් වෙනස් , ඒ නිසාම කොල්ලටත් කෙල්ලටත් තම  ආකර්ෂාව පිළිබඳ ඉගැන්වීම කළ යුතුම දෙයක් ලෙසින් වෙනසක් කරන්නට වෙනවා.
                දරුවන් ලිංගික අපයෝජකයන්ගෙන් රැක ගන්නට , කළ යුතු දැනුවත් කිරීමේ ක්‍රියාවලිය පහසු කරන්නට විවිධ යෝජනා , උපදෙස් තිබුණත් PANTS rules  ලෙසින් පහසුවෙන් හඳුන්වා දෙන උපදෙස් මාලාව වඩාත් ජනප්‍රියයි. අපි දැන් බලමු මොකක්ද මේ පැන්ට්ස් රූල් කියල ,
                1. Privates are private 
                2. Aways your body belongs to you 
                3. N
                4. Talk about secrets that upset you 
                5. Speakup 
                මේ ගැන කෙටියෙන් කීවොත් , දරුවාට තමන්ගේ දේහය ගැන එය ,“අනුන්ගේ නොවන තමන්ගේ දෙයක් බව තේරුම් කර දෙන්න“ ,  දරුවා අකමැති අයුරකින් දරුවාව , ස්ඵර්ශ කිරීමකට , විශේෂයෙන්ම දරුවාගේ යටි ඇඳුමින් ආවරණය වී ඇති ප්‍රෙද්ශය ස්පර්ෂ කරන්නට හෝ එම ප්‍රෙද්ශයේ ඇඟළුම ඉවත් කරන්නට වෙනත් කිසිවෙකුටත් ( හේතුවක් සහිතව , දෙමාපියන්ට / රැක වරණය ලබා දෙන්නා හෝ වැඩිහිටියෙක් සමඟ රෝහල් ගතවූ විටෙක දරුවාට තෙරුම් ගත හැකි අයුරින් පැහැදිලි කරදුන් වෛද්‍යවරයාට / හෙදියට හැරෙන්නට)  අයිති නැති බව තේරුම් කර දෙන්න , තමන්ගේ වගේම වෙනත් අයෙක්ගේ “එම ප්‍රෙද්ශයක් “ ස්පර්ශ කරන්නට යාමත් “වැරදි දෙයක්“ බව දරුවට තේරුම් කරදෙන්න , එවන් අවස්ථාවක එයට “එපා කියන්නටත් , අදාල පුද්ගලයාගෙන් ඉක්මණින් ඉවත් වන්නටත් , ඒ ගැන ළඟම ඉන්න ගුරුවරයෙක් හෝ දෙමාපියන් දැනුවත් කරන්නට දරුවා උනන්දු කරවන්න.කිසිම වෙලාව මේ වගේ දේ “රහසක් ලෙස“ සඟවාගෙන නොඉන්නට , එය දෙමාපියන් එක්ක කතා කරන්නට දරුවා පොළඹවන්න.  ඒ වගේම වෙනත් අයෙක් දිගින් දිගටම “එම  ප්‍රෙද්ශයේ “ අවයව ගැන , ඒ සම්බන්ධ විහිළු , පිංතූර පෙන්වනවා නම් හෝ කතා බහ කෙරෙනවා  නම් ඒ ගැන අම්ම තාත්ත දැනුවත් කරන්න දරුවව පුරුදු කරන්න , ඒ අවදානම් සාධක හඳුනා ගන්න.

                (මේ සටහන ලියන අතරේම කසුන් බොරළුගොඩ මිත්‍රයා ෆේස්බුක් තුල ෂෙයා කළ වීඩියෝවක් බොහොම පැහැදිලිව මේ අවදානම් සාධක පෙන්වා දෙනවා )

                1. See alert - ලිංගික අපයෝජකයෙක් දරුවෙක්ගේ “පුද්ගලික ප්‍රෙද්ශය“ අනවශ්‍ය ලෙස ස්පර්ශ කරනවා නම් , බලනවා නම් හෝ දරුවා මඟින් අපයෝජකයාගේ “එම ප්‍රෙද්ශ“ ස්පර්ශ කරගන්නවා දුටුවහොත් 
                2.  Talk alert - යමෙක් , දරුවෙක් සමඟ ඉහත කීපරිදි ලිංගික අවයව / චර්යා පිළිබඳව අනවශ්‍ය අයුරින් කතා කරනවා නම් 
                3. touch alert - අයෙක් දරුවෙක්ගේ යටි ඇඳුමින් ආවර්ණය වන ප්‍රෙද්ශ , ස්පර්ෂ කරනවා නම් හෝ දරුවා ලබා ඔහුගේ / ඇයගේ එම ප්‍රෙද්ශ ස්පර්ශ කරවා ගන්නවා නම් ,
                4. alone alert - නිසි හේතුවක් රහිතව , දරුවා කණ්ඩායමේන් වෙන් කරගන්නට , තනි කරගන්නට , තනි කර වෙනත් ස්ථානයකට රැගෙන යන්නට උත්සාහ ගන්නවා නම් ,
                5. hold alert - අනවශ්‍ය අයුරින් දරුවාව ,“හුරතල් කරනවා නම්“ , 
                මේ  අවදානම් සාධකයන් හඳුනාගන්න , තැනට සුදුසු ක්‍රියාමාර්ග ගනිමින් එම දරුවා මෙන්ම තවත් දරුවෙක් ගොදුරක් බවට පත්වීමේ  අවස්ථාව වලක්වා ගන්නට කටයුතු කරන්න . මේ දරුවා ඔබේ වුනත් , නොවුනත් මේ අපරාධයට විරුද්ධ වන්න , දෙමාපියන්  , නිතිය මේ අපරාධකරු ගැන දැනුවත් කරන්න 


                ඒ වගේම දරුවට ලැජ්ජාව ඇති කරන , කණගාටුව ඇති කරන සිදුවීමක් වුනොත් ගෙදර දි එය කතා කළ හැකි පරිසරයක් ඇති කරදෙන්න , ටික වෙලාවක් වත් දරුවට ලංව ඉන්නට උත්සාහ  කරන්න , දරුවා වෙත “සැක කළ හැකි “ සිදුවීමක් වෙමින් පවතී නම් , දරුවා ඒ ගැන කියන්න හදත්දිම “දරුවට කෑනොගහ“ එය කියන්න දෙන්න , එය නුදුරේ විය හැකි අවදානමක් වලක්වා ගැනීමක් වන්නට පුළුවන්.

                ලිපිය  අවසන් කරන්නට කතා කළ සියල්ල කෙටියෙන් , 

                • අද දවසේ ඔබේ දරුවාත් ලිංගික අපයෝජකයෙක්ගේ ගොදුරක් වීමේ හැකියාව ඉතා ඉහළයි , 
                • ඒ වගේම අපයෝජකයා අප හිතනවාට වඩා අප ළඟින් සිටින / දන්නා හඳුනන කෙනෙක් වන්නට ඉඩ වැඩියි.
                • එම නිසා මේ අවදානම ගැන දෙමාපියන් සහ  දරුවන් දැනුවත් විම වටිනවා , 
                • ලිංගිකත්වය පිළිබඳ ඇති අස්වාභාවික සැඟවුනු බව වගේම නිසි දැනුම අඩුකම වෙනස් කරගන්නට දෙමාපියන්ට  කාළය .
                • තම දරුවන් ලිංගික අපරාධකරුවන්ට හසුනොවන තරමේ දැනුමක් ඔවුනට ලබා දිමට කාළයයි මේ .
                • දරුවාට තම “පෞද්ගලික අවයව“  සහ අනුනගන් පෞද්ගලිකත්වය රැක ගන්නා ආකාරය කියා දෙන්න.
                • ලිංගික අපරාධකරුවෙක්ගේ චර්යා, අවධානම් සාධක හඳුනාගන්න ,ඒ පිළිබඳව සමාජය වට පිටාව දැනුවත් කරන්න.
                • මෙවන් අපරාධකරුවන්ට නිසි නීති දඩුවම් ලබා දීමට සමාජය පොළඹවන්නට උත්සාහ කරන්න.   



                මේ ලිපිය ලියත්දි මගේ ළඟ ඉඳන් අළුත් කරුණු , ගොඩක් මතක් කරදුන් මගේ චූටි කෙල්ලො දෙන්නටත් (මේ දෙන්නට නම් මේ මාතෘකාවන් පිළිබඳ දැනුවත් කරන්නට පටන් ගත්තෙ ලංකාවේ ඉන්න කාළෙදිම , දැන් නම් එය ඉතාම පහසු අයුරින් පාසලෙදී කියා දෙනවා )  , මේ ලිපිය කියවන , බෙදා හදා ගන්න ඔබටත් බොහොම ස්තුතියි . හැබැයි දැන් කෙනෙක් කියාවි “අපෝ ඔය බටහිර රටවල දේවල් , අපේ රටට ඕව ඕනද කියල ? ... “ මේ ගැන මුකුත්ම කියන්න යන්නේ නැහ මම , ඔබම තේරුම් ගන්න . ඔබට සිතන්නට ඉඩ දී අදට මෙතැකින් සමුගන්නයි සූදානම.

                (සමුගන්නට මොහොතකට පෙර කිවයුතුම දෙයක් , පහුගිය කාළය තුල මුහුණුපොතේ ව්‍යාප්ත වුනු “ලිංගික විඩියෝවන්“ මත “කුතුහලය නිසා ක්ලික් කර“  , තවත් අයට බෙදා දුන් සමහර ශ්‍රී ලාංකික මිතුරන් / මිතුරියන් මගේ මුහුණූ පොතෙන් ඉවත් කරන්නට වුනේ , මගේ මුහුණුපොත මගේ දරුවන් පවා නරඹන නිසා . එසේ නොමැතිව මිතුරුදමේ  අඩුවක් නිසා නොවන බව මේ අතරෙම කියන්නට ඕන .)



                යටි ඇඳුම් නීතිය ගැන තව දැනගන්න මෙතැන ක්ලික් කරන්

                මේ වීඩියෝ ටික බලන්නට වැය කාළය අපතේ යන එකක් නැහැ. 





                මේ ලිපිය අවසානයේ පුණ්‍යානුමොදනාවක් කරන්නට ඕනේ , ඒ නොහිතූ මොහොතක අප අතරින් සමුගත් “සොඳුරු සුව අසපුවේ “ මිතුරෙක් වෙනුවෙන් , ඒ නිශාන්ත වීරසිංහ මිතුරා නැත්නම් මම කියන විදියට “නිශාන්ත මල්ලී“ , මුහුණු පොතේ හමුවුනු හැම  මොහොතක්ම තම දරු පැටවුන් ගැනම කතා කළ සුන්දර හිතක් තිබුණු , මා නොදුටු මිතුර , යමෙක්  මේ ලිපිය කියවා දැනුමක් ලබයිද , සතුටක් ලබත්දි ඒ සතුට , ඒ තුතිය පිනක් වී ඔබටම ලැබේවායි පතමි .


                මුවේ සිනා පිරි ඔවුන්ගේ දිනයයි

                $
                0
                0
                මේ ගැන ලිපියක් ලියන එක ගැන හිතත්දි මගේ හිතට තව උල්පන්දමක් දුන්නු film එකක් තිබුණ...ඒ fly away කියන සංවේදී , ලස්සන චිත්‍රපටිය , ඔටිසම් සහිත දරුවෙක් වෙනුවෙන් කැප වන මවක් හා , ඒ දිරිය මත ඉදිරියට යන දරුවෙක් වටා ගෙතුණු සුන්දර චිත්‍රපටයක් . මේවන තෙක් ඔබ මේ චිත්‍රපටය බැලුවෙ නැත්නම් බලන්න , හොඳ දැනුමක් ගන්නත් පුළුවන් . මේ film එක නොබැලුවත් මම දන්නව ඔබ my name is khan “ බලන්න ඇති . එහිදි Rizwan Khan ලෙසින් සාර්ථක සහ වෙනස් රංගනයක් යෙදෙන ශාරුක් ඛාන් රඟ දක්වන්නේ මේ ඔටිසම් රෝගි තරුණයෙක්ගේ චරිතයක්. මතකද ඔබට මේ දෙබස් "My Name is Khan..I am not a terrorist" , අපිටත් කටපාඩම් වන තරමට නිරන්තරයෙන් කියූ ඒ දෙබස.

                මේ අද දවසේ කතා කරන සංකීර්ණ තත්ත්වයක් පිළිබඳ කතා කළ ලිපියකින් උපුටා ගැනුමක් , 



                කළු බලු කතාවක්

                $
                0
                0
                අපේ සමාජයේ සෑහෙන පිරිසක් විඳවන මානසික රෝගී තත්ත්වයක් ගැන සැකසු මෙම වීඩියෝවෙන් ඔබට බොහෝ දේ දැනගන්නට පුළුවන් වේවි.

                අළුත් ලිපියක් ලියන්නට ඉඩක් නැතත් , මේ වීඩියෝව තුලින් සරළව හඳුන්වා දෙන්නට හදන රෝග තත්ත්වය ගැන තවත් දැනගන්නට  මෙන්න මේ ලිංක් එක ඔස්සේ  පුළුවන්
                http://www.nursinglk.com/2011/07/33-depression_17.html




                171) ඇටේ දමා කටේ බේර ගන්න පනේ

                $
                0
                0
                කාළෙකට පස්සෙ , මතක විදියට සොඳුරු සුව අසපුවට ලිපියක් එක් කරන්නේ මාස දෙකකින් විතර. විවිධාකාර වෙනසවීම්  , අවිවේකය , වගේ කාරණාවන් ගණනාවක් මේ ප්‍රමාදයට හේතුවුනා. ඒත කාළෙකට පස්සේ “සිංහල බ්ලොග් පරිශ්‍රයට“ ඇවිත් බලත්දි හිතට සතුටක් වගේම පුංචි දුකකුත් ඇති වුනා . සතුටනම් .... අළුත් බ්ලොග් ගණනාවක් එක්වී තිබීම , දුක නම් තිබුණු බොහොම රසවත් , නිර්මාණශිලී වගේම දැනුමක් ලබා ගන්නට තිබුණු බ්ලොග් ගණනාවක් යාවත්කාලීන වන බවක් පෙනෙන්නට නොතිබීම . 


                පිංතුරය ගත්තේ සිංදු ඇනෝ ගේ පිටුවෙන් 
                කෙසේ වෙතත් නිවාඩුවක් ලැබුණු දවසේ පුළුවන් සටහන් ටිකක් කියවගෙන යත්දි විශේෂ යමක් ඇස ගැටුන , ඒ අපේ රටේ දක්ෂ වයලීන වාදකයෙක් වුනු රුවන් වීරසේකර සංගීතවේදියා රෝගාතුරව සිටින බව . තව දුරටත් මේ ගැන කියවත්දි දැන ගන්නට ලැබුණෙ ඔහු දියවැඩියා කෝමා තත්තවයෙන් තවමත් පෙළෙන බව (පුවත් පත් වාර්තා අනුව) .


                මේ හේතුව ඔස්සේ යමින් , ඔහුට ඉක්මන් සුවය පතමින් දියවැඩියාවේ එක්තරා  සංකූලයක් , නැත්නම් අපදාවක් ගැන ලියන්නටයි අද උත්සාහ කරන්නේ . ඒ Hypoglyemic coma හයිපෝග්ලයිසීමික් කෝමා (මේකේ නියම සිංහල වචනය දන්න කෙනෙක් එකතු කළොත් එය වටිනවා) .

                එහෙම නම් තවත් වැල්වටාරම් නැතිව මාතෘකාවට ඇතුළු වෙමු. මුලින්ම මේ තත්ත්වයේ මූලය හෙවත් දියවැඩියාව  ගැන පොඩ්ඩක් කතා කරල ඉමු.



                “දියවැඩියාව“ කියූ පමණින්ම අපේ හිතට එන්නෙ මොනවද ? සීනි එක්ක තරහ වෙච්ච , තුවාල හොඳ වෙන්නෙ නැති , අැස් වල පෙනීමත් අඩුවෙන තව කරදර ගණනාවක් එක්ක දවස ගානේ පෙති ගහමින් හරි ඉන්ජෙක්ෂන් විදිමින් හරි ජීවත් වෙන්නට සිදුවෙන “කරදරකාර“ ලෙඩක් . අපේ රටේ හුඟ දෙනෙකුට දියවැඩියාව පිළිබඳ යම් අවබෝධයක් තිබෙන නිසා වැඩි පුර ඒ ගැන කියන්න යන්නෙ නැහැ. නමුත් සරළ මතක් කිරීමක් කළා කමක් නැහැනේ ?

                පුංචි පහේ මං කාළේ ඉඳළම දන්න විදියට අපි ගන්නා ආහාර බඩට ගියාම දිරවන්න පටන් අරගෙන , අවසානයේ එහි තිබෙන පෝෂණ කොටස් ඉතාර සරළ මට්ටමට දිරෙව්වට පස්සෙ බඩවැල් ඕස්සෙ අපේ ලේ වලට උරා ගන්නවා . මේ විදියට උරා ගන්න පෝෂක කොටස් අතර ලොකු ප්‍රෝටින් හදන පුංචි එකා “ඇමයිනෝ අම්ල“ , බඩ තඩි කරන තෙල් කුට්ටිය  හදන්න සහයෝගය දෙන මේද අම්ල වගේම “ඇන්ජිම දුවන්න“
                http://www.connecttoresearch.org/images/pubs/AZ_d0489-1.jpg
                ඕන කරන “පැට්‍රෝල්  වගේ (මෙහෙ විදියට නම් ගෑස් වගේ) “ වැඩ කරන ග්ලුකෝස් ප්‍රධාන තැනක් ගන්නවා , මීට අමතරව විටමින , විවිධ ඛනිජ අයන වර්ග , ජලය එහෙමත් උරාගන්නවා අපේ ලේ නහර ඇතුලට . මෙ හැමෝගෙන්ම මගේ කතාවට වැදගත් “ග්ලුකෝස් “ ලේ වලට උරා ගෙන නහර ,“ පාරවල් “දිගේ ඉස්සරහට යත්දි , ලේ වල පාවි පාවි ඉන්න  “ඉන්සියුලින්“ කියන ටැක්සියේ උදව්වෙන් අපේ සෛල ගෙවල්  වලට ළඟා වෙලා , සෛල  ඇතුලට ගිහින් එයාට  කන්න බොන්න දෙනවා .  එහෙම සෛල ගෙවල් වලට ගියාට පස්සෙත් ලේ නහර කියන පාරවල් වල “ග්ලුකොස් “ වැඩිපුරා එකතු වුනොත් ඒ වැඩි පුර ටික අක්මාවට කැන්දගෙන ගිහින් නවාතැන් දෙනවා අක්මාව ඇතුලේ . 


                හැබැයි දියවැඩියාවෙදි වෙන්නේ මොකක්ද ?  නොම්මර එකේ දියවැඩියාව (Type I Diabetic mellitus)  තත්ත්වයේදි ඇඟ ඇතුලේ “ඉන්සියුලින් ටැක්සි“  ඇඟ ඇතුලේ හැදෙන්නෙම නැහැ ( මොකද ඉන්සියුලින් හදන ෆැක්ටරි ඇත්තෙම නැහැ කියල කියමු )  , ඉතින් එයාලගේ ඇඟේ ග්ලුකොස් සෛල වලට ගෙනියන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ , ඒ කියන්නේ එයාගේ  ඇඟේ සෛල වලට ජීවත් වෙන්න බැරිව යනවා   . ඒ නිසා තමයි මේ රෝගීන්ට ඉන්සියුලින් විදිීම අනිවාර්ය , හුඟක් වෙලාවට මේ තත්ත්වය පුංචි දරුව කාළෙම මතුවෙනව . හැබැයි ටිකක් වයසට ගිහින් මතුවෙන්නත් පුළුවන් . 


                http://news.bbcimg.co.uk/media/images/67032000/gif/_67032307_diabetes_types.gif
                දෙවන වර්ගයේ දියවැඩියාවෙදි වෙන්නේ එක්කෝ ඇඟ ඇතුලේ හදන ඉන්සියුලින් (හරියට ටැක්සි කාර් වගේ) අවශ්‍යතාවට ප්‍රමාණවත් නැහැ , එහෙම නැත්නම් ඉන්න ඉන්සියුලින් හරියට වැඩ කරන්නේ නැහැ . ඒ නිසා තමයි මේ අයට බොහෝ වෙලාවට දියවැඩියා පෙති දීල ඉන්සියුලින් පණ ගන්වල , සෛල එක්ක ගණු දෙනුව හරියට කරවන්න උත්සාහ කරන්නේ . 

                මේ කෝක වුනත් අපි හිතමු ලෙඩාගේ ඇඟ ඇතුලේ ඉන්සියුලින් නැහැ , නැත්නම් හරියට වැඩ කරන්නේ නැහැ කියල. දැන් කෑමට ගන්න දේවල් ජීරණය වෙලා සාමාන්‍ය විදියටම ලේවලට ග්ලුකෝස් එකතු වෙනවා , ඒත් මේ ග්ලුකෝස් සෛල ඇතුලට ගෙනියන්න ක්‍රමයක් නැහැ ‍, ලේ වල ගොඩගැහෙනවා , මෙන්න මේ තත්ත්වයේදි තමයි ලෙඩාට “සීනි වැඩි වෙලා“ කියල දොස්තර මහත්තයා දියවැඩියා පෙති හරි ඉන්ජෙක්ෂන් හරි නියම කරන්නේ . ඔන්න දැන් තමයි අපෙ කතාවට වැදගත්ම තැන .

                අපි දැන් මෙහෙම හිතමු , අපෙ ලෙඩා දොස්තර මහත්තය කියන විදියටම දියවැඩියා බෙහෙත් ගත්ත , කියපු වෙලාවට කෑම බීමත් ගත්ත , දැන් මොකද වෙන්නේ ලේ වලට එකතු වෙන “ග්ලුකෝස්“ බෙහෙත් වලින් උනන්දු කරන ඉන්සියුලින් වල උදව්වෙන් ලේ වල අනවශ්‍ය තරමට ගොඩගැහෙන්නෙ නොදි සෛල වලට යනවා ,  ඒ කියන්නෙ සෛලත් හොඳට ජීවත් වෙනවා , ලේ වලත් ඕන කරන තරමට ග්ලුකෝස් තියෙනවා , ඒ එක්කම එහෙට මෙහෙමට දුවන ඉන්සියුලින් ටැක්සිත් තියෙනවා , හදිස්සියක් වුනොත් සෛලයට පුළුවන් ටැක්සියකට පොඩි කෝල් එකක් දාල ඕන කරන “ග්ලුකෝස් ටිකක්“ ගෙන්න ගන්න .  ඒ කියන්නේ දැන් ලෙඩාට දියවැඩියාව තිබුණත් “හොඳින් පාළනය කරගෙන තිබෙනවා“ .

                නමුත් , 
                අපේ ලෙඩා දොස්තර මහත්තයා කියන විදියට හරියටම බෙහෙත් ටික බිව්වා , නැත්නම් විදගත්තා , හැබැයි වෙලාවට කෑම ගත්තේ නැහැ . දැන් මොකද වෙන්නේ. ඉන්සියුලින් තිබුනට දැන් සෛල වලට කන බොන දේවල් “ ග්ලුකොස් “ අඩුයි , ඒත් සෛල වලට කෑම ඕන, මොනව කරන්නද ? ඉන්සියුලින් දැනට ලේවල ඉතිරි වෙලා තියෙන “කෑම , ග්ලුකෝස්“ ටික අරගෙන ගිහින් සෛල වලට  දෙනවා , වැඩේ තාවකාලිකයි , ඊළඟට ආයෙත් සෛල වලට බඩගිනි වුනාම කෑම ඉල්ලනවා , දැන් ඉතින් දෙන්නේ මොනවද ? වෙනද නම් අක්මාවේ තියෙන ගබඩාවෙන් හරි ගෙනත් දෙන්න පුළුවන් ,ඒත් අද ඒ ගබඩාවේ වැඩත් හරියට කෙරෙන්නෙ නැහැ . දැන් කෑම නැහැ , ඒත් සෛල කෑම ඉල්ලනවා , සෛල කිව්වට ඇඟේ අනිත් සෛල වලට කෑම නැතිව ටිකක් දුෂ්කර ක්‍රියාවක් කරගෙන ඉන්න පුළුවන් වුනත් (දැන් හයිපෝගල්යිසිමික් වුනත් තවම හයිපොග්ලයිසිමික් කෝමා තත්ත්වයට පත් වෙලා නැහැ )  , මොළයෙ සෛල වලට ඕන වෙලාවට කෑම නැති වුනොත් ජීවත් වෙන්න අමාරුයි , ඒ කියන්නේ මොළයෙ සෛල වලට අවශ්‍ය ග්ලුකෝ්ස් ප්‍රමාණය නොලැබුණොත් මොළයේ සෛල මිය යන්නට තිබෙන ඉඩ වැඩියි ,මොළයේ සෛල මිය ගියොත් , ඒ අඩුව පුරවන්නට අළුතිත් සෛල පැටවු හැදෙන්නෙ නැති නිසා ( ඒ කියන්නේ ඇඟේ අනෙක් දේහ සෛල මිය ගියත්  අළුත් සෛල පැටවු ඇවිත් ඒ අඩුව පුරවනවා ) සිදුවෙන විනාශය විශාලයි , එ් වගේම නැවත නිවැරදි කරන්නට බැරි හානියක් සිදුවන්නේ .මෙන්න  මේ  විදියට මොළයට නරක බලපෑමක් කරන තත්ත්වය අපි වෛද්‍ය විද්‍යාවෙදි නම් කරන්නේ Hypoglycaemic coma  කියලා ( Hype කියන්නේ “අඩුවීම“ , Glyca කියන්නේ “සීනි“ emia කියන්නෙ “ලේ වලට coma කියන්නේ සිහිමුර්ජාවට . )

                දියවැඩියාවෙදි ඇතිවන්නට පුළුවන් ඉතාම භයානක හදිසි සංකූලයක් තමයි මේ Hypoglycaemic coma තත්ත්වය. මෙතැනි මම භයානක කියන වචනය යොදා ගත්තේ නිසි ලෙස ප්‍රතිකාර නොලදොත් “මරණීය“ වන්නට හෝ ජීවිත කාළය පුරාම පවතින දුබලතාවක් එක්ක සිටින්නට ඉඩ පාදන තත්ත්වයක් නිසා. 

                දැන් අපි මෙ Hypoglycaemic coma කියන තත්ත්වය පිළිබඳව තව දුරටත් සවිස්තරව කතා කරමු ,

                ලේ වල සීනි ප්‍රමාණය , 70mg/dl  (3.9 mmol/l) ට වඩා අඩුවුනු අවස්ථාව Hypoglycaemia විදියටයි නම් කරන්නේ , මෙහෙම වෙන්න ප්‍රධාන හේතුවක් මේ කතා කළ සිදුවීම , ඊට අමතරව අදාල රෝගියා  දියවැඩියා ඖෂධ (හෝ ඉන්සියුලින්) අධිමාත්‍රාවක් ගැනීම , එහෙම නැත්නම් ප්‍රමාණයට වඩා ව්‍යායාම කිරීම , නැත්නම් ප්‍රමාණයවත් ආහාර නොගැනීමත් ( විශේෂයෙන්ම අදාල රෝගියා මධ්‍යසාර පානය  කළේ නම් සිහි කල්පනාව දුර්වල වෙන්න ඉස්සර සීනි , පිෂ්ඨය අඩංගු ආහාරයක් ලබා ගැනීම හරිම වැදගත්) , මේ තත්ත්වයට හේතුවක්.


                පටන් ගන්න හැටි 
                මොනවද රෝග ලක්ෂණ , මුලින්ම කියන්න ඕන  මේ  (හයිපෝග්ලයිසිමික් තත්ත්වය ඇති වන්න දියවැඩියාවෙන් පෙළෙන කෙනෙක්ට , ඒ කියන්නේ ඔහු හෝ ඇය දන්නවා තමන්නේ ලේ වල සීනි මට්ටම පිළිබඳ සැලකිල්ලෙන් ඉන්න එක වැදගත්බව . මුලින්ම එන්න පුළුවන් පොඩි හිසේ රුදාවක් ,බොඳ වෙලා පේන ගතියක්  , බර ගතියක් එක්ක බඩගින්නක් , දියවැඩියාවට ප්‍රතිකාර ගන්න කෙනෙක් හුඟක් සැලකිලිමත් විය යුතු ඒත් හුඟ දෙනෙක් නොසලකා හරින රෝග ලක්ෂණ දෙකක්මේ . තවත් ටික වෙලාවකද ඇඟගැහෙන ගතියක් , වෙව්ලීමක් අසාමාන්‍ය විදියට දහදිය දැමීමක් ඇති වෙන්න පුළුවන් , ( මේක රෑ නිදා ගතිත්දි සිදුවුනොත් ඇඳ රෙදි තෙමෙන තරමට දාඩිය දාල තියෙන්න පුළුවන් ) දැන් හොඳ කල්පනාවෙන් කෑමට යමක් , විශේෂයෙන්ම සීනි සහිත කෑමක් බීමක් නොගත්තෝත තව ටිකකදි පපුව තදින් ගැහෙන බවත් එක්කම කල්පනාව ටිකක් අඩුවටව දැනෙන්ට ඉඩ තිබෙනවා , මෙතැනින් එහාට ගියාම රෝගියා ටිකක් නොසන්සුන් නැත්නම් කළබලකාරී හැසීරීමක් සමහර විට අපස්මාරය රෝගියෙක් වගේ ගැස්මක් පෙන්වන්නත් පුළුවන් .  දැන් රෝගියා එක්ක කතා කළොත් ඔහු  හෝ ඇය ලබා දෙන උත්තර තේරුම් ගන්න හරිම අමාරුයි , හරියට මත්පැන් වලින් පදම් වුනු කෙනෙක් දෙන උත්තර වගේ පැහැදිල නැති “බර හඬක් “ විතරක් ඇහෙන්න  පුළුවන් . (නමුත් රාත්‍රියේ නින්දට ගිය වෙලාවකට නම් මේ සමහර ලක්ෂණ හදුනාගන්නට සිදුනොවන්න පුළුවන් , මක්නිසාද මොළයට අවශ්‍ය ග්ලුකෝස් නොලැබීමත් එක්ක දුර්වල වන , මොළයේ සෛල , නිදමතක් , කල්පනාව අඩු ගතියක් ඇති කරන නිසා ) . 

                මේ ලක්ෂණ දිහා වැඩි වෙලා බලා නොහිට ඉක්මන් ප්‍රතිකාරයක් ලබා දීමයි වැදගත් . විශේෂයෙන්ම රෝගියාට දැනෙනවා නම් තමන්ට දියවැඩියාව ඇති බව සහ මතුවන ලක්ෂණ ඔස්සෙ Hypoglycaemia  තත්ත්වයක් දැයි සැක  මතුවනවා නම්  බව ඉක්මණින් ආරක්ෂිත තැනකට යන්න ,  (මේ රිය පදවන අතරේ නම් ඉක්මණින්ම ආරක්ෂිතව රිය නවතා ) වාඩි වෙන්න , තමන් සන්තකයේ ඇති “සිනි මේස හැදි දෙකක් “ විතර කටට හලා ගන්න , නැත්නම් හකුරු කෑල්ලක් , ටොෆියක් (වඩාත්ම හොඳ ග්ලුකෝස් ටිකක් තිබුණානම්) ඊට පස්සේ පුළුවන් නම් පළතුරු බීමක් , සීනි දාපු තේ ටිකක් බොන්න , ( බොන්න දෙන්න ) . බොහෝ විට විනාඩි කිහිපයකදි මතු වුනු ලක්ෂණ ක්‍රමයෙන් අඩුවන බවක් දැනෙනවා , නමුත් කළබල වෙන්න එපා , දැන්ම නැගිටල දුවන්න හදන්න එපා , වඩාත් හොඳයි තවත් කෙනෙක්ගේ සහයෝගය ඇතිව ටික වෙලාවක් රැඳී ඉන්න එක . ( තිබනවා නම් ග්ලුකගන් එන්නත සමට විදගන්නට අවස්ථාව  )  මේ අතරේ තමන් ළඟ තිබෙනවා නම් ලේ වල සීනි මට්ටම මනින උපකරණය , පරික්ෂණය කරගෙන දැනට තිබෙන සීනි මට්ටම සටහන කර තබා ගන්න , මොකද තව ටිකකින් රෝහලට ගියාම ඒ දත්ත හුඟක් වැදගත් වන නිසා.

                තත්වය යහපත් මට්ටමට පැමිණුනා නම් මේ අවදානම් අවස්ථාව අමතක වන්නට පෙර ළඟම තිබෙන රෝහලට ගිහින් වෛද්‍යවරයෙක් හමුවන්න , මක් නිසාම Hypoglycaemia තත්ත්වය එන්නට හේතු සාධක නැවත  සොයා බැලීම හුඟක් වැදගත් නිසා තවත් කීවොත්  Hypoglyceamic coma තත්ත්වයට පත්නොවී සිටිම හුඟක්ම වැදගත් නිසා . එතැනදි තමන්ට ඇති වුනු ලක්ෂණ , ඊට පෙර තමන් ඖෂධ ගත්තාද නොගත්තාද වල , කෑම වේල ගත්තාද මග හැරුනාද කියන එකත් වෛද්‍යවරයාට පවසන එක තමන්ගේ ජීවිතයේ ආරක්ෂාවට වැදගත්.

                අවසානයේ කියන්න තියෙන දේ කෙටියෙන් කීවොත් ,

                දියවැඩියාවෙන් පෙළෙනවා නම් නිසි ලෙස වෛද්‍ය සායනයට යන්න , ඖෂධ නියම වෙලාවට , නියමිත ප්‍රමාණයට ගන්න , පුළුවන් නම් ගන්නා ඖෂධ , ගත් වාර ගනණ , වෙලාව පොත් පිංචක සටහන් කර ලබා ගන්න. ලබා දෙන උපදෙස් වලට අනුකූලව නියමිත කාළ අන්තරයෙන් නොවරදවා ආහාර වේල ගන්න. හැම වෙලාවකම තමන් ළඟ ග්ලුකෝස් ටිකක් , සීනි ටිකක්  ටොපියක් දෙකක් , (මාතෘකාවේ ඇටේ කීවේ මේකටයි හොඳේ )  බිස්කට් ටිකක් ළඟ ගන්න. ඒව තිබුණට මතක ඇතිව කට පරිස්සම් කරගන්න . වැදගත්ම දේ රෝගය ගැන , දියවැඩියාවේදි ඇතිවිය හැකි Hypoglycaemia වැනි සංකූල පිළිබඳව දැනුවත්ව ඉන්න , අන්තිමට යන හැම තැනකම තමන්ගෙ රෝග විනිශ්චක කාඩ් පතේ පිටපතක් අරගෙන යන්න . මේ රටවල නම් විශේෂිත  අත්පලදනා , පච්චයන් පවා මේ සඳහා යොද ගන්නවා (මේ පව්ව ගැන මීට ඉස්සර කතා කළා වගේ මතකයි මෙන්න මේ ලිපියෙදි http://www.nursinglk.com/2013/07/138_15.html ) .

                එහෙම නම් මේ සියල්ල නිවැරදිව කරගෙන ගියොත් දියවැඩියාවෙන් සහ මෙවන් සංකූල වලින් විය හැකි ආපදාවන් අවම කරගන්න පුළුවන් වේවි .

                ලිපියේ නිමාවේ නැවතත් අපේ මධුර වයලීන ස්වරයෙන් සිත් සතන්  සහනාලූ රුවන් වීරසේකර සංගීතවේදියාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා  කරමි . ( මෙම ලිපිය තුල ඔහු පිළිබඳව  සටහන් කළ ඔහු මේ විට රෝගාතුරව සිටින්නේ කිනම් තත්ත්වයක් නිසා දැයි මම නිසි ලෙස නොදනිමි  , නමුත් සිංදු ඇනෝගේ මෙම ලිපියෙන් ඔබට තවත් තොරතුරු ලබා ගත හැකි වේවි , http://sinduano.blogspot.ca/2015/05/blog-post_14.html - ස්තුතියි සිංදු ඇනෝට 

                ඔහු පිළිබඳ මේ විඩියෝවට ඔබේ නෙත සිත යොමුවනු ඇතැයි උදක්ම අපේකෂා කරමි .

                159) දඟ බබාට නොතලන්නයි හිමින් සැරේ ගොඩගන්නයි

                $
                0
                0
                “මට ඕනේ , මේකමයි ඕනේ “ ....
                “පුතේ අපි වෙන දවසක ගනිමු අද මා ගාව මේව ගන්න සල්ලි නෑ “ ...
                “නෑ ! .මට අද මේක ඕනමයි “ 
                ගෙදරට ඕන  කරන අඩුම කුඩුම ටික ගන්න අතරේ අම්ම කෙනෙක්ගෙයි , පොඩි කොළු පැටියෙක්ගෙයි දෙබසක් කණට වැටුන . 
                පොඩි එකා මොකක්දෝ පෙට්ටියක් උස්සෙගන , බදාගෙන ඒක ඉල්ලනව , පේන විදියට සෙල්ලම් බඩුවක් , ..
                “මම කිව්වනේ ! අද බැහැ . , වෙන දවසක තමයි ගන්න පුළුවන් . ඔයාට එන්න බැරි නම් ඉන්න මම යනවා “  අම්ම පොඩි සැරක් පෙන්නල ටික දුරකට ගියා .

                පොඩි එකාගේ ලොකු යුද්දේ !


                එක යුද්දයයි , පොඩි එකා එතන තිබුණු ඔක්කොම සෙල්ලම් බඩු විසි කරනවා . විසි කරපු කාර් එකක් මගේ කණ ගාවින් ගිහින් ඉස්සරහ තිබුණු පෙට්ටියක වැදුන . .. තව ... අම්ම දුවල ගියා පොඩි එකාගාවට . 
                පේන විදියට ටිකක් සැර කරනවා . ම්හ් ...පොඩි එකා පෙරළි පෙරළි අඬනවා , වටේම බඩු පොළොවෙ ගහනවා එතන යුද්දයක් . වටේ හිටපු අම්මල දෙන්නෙක් “යුද්දේ සාමදාන කරන්න ඇවිත් දරුණූ ප්‍රහාරයකට ලක්වෙනව“  බලාගෙන ඉන්නව ඇරෙන්න අපට කරන්න තරම් දෙයක් නැහැ . මොකද අම්ම , දරුවගේ තත්තවේ ගැන දැනුවත් වගේ. ටික වෙලාවක් ගියා , ආයතනයේ ආරක්ෂක අංශයේ නිළධාරිනියන් දෙදෙනෙක් අම්මගේ උදව්වට ආවත් වාහනේට යනකම්ම කොළුව අසාමාන්‍ය විදියට දැඟලුවේ. 

                “මොකද තාත්තේ අර මල්ලිට වෙලා තියෙන්නෙ ? එයා නරක වචනත් කිව්වනේද ? , එතනින් යත්දි ඒ මල්ලි අපි දිහාත් සැරෙන් වගෙ බැළුවේ , “ මෙච්චර වෙලා අම්මගේ වටේ කරකැවෙමින් හිටපු , අපේ පොඩි කෙළී අහනව . 
                “ඒ මල්ලිට ඔටිස්ටික් වෙන්න ඇති “ අක්කගෙන් උත්තරේ.
                “වෙන්න බෑ , එයාට ඔටිස්ටික් වෙන්න බෑ , ඊට වැඩිය මොකක් හරි ප්‍රශ්නයක් . ඔටිස්ටික් අයට , හොදට මූණ දිහා බලල චුට්ටක් හිනා වෙලා , ආදරෙන් කීවම කියන දේ අහනව“ ඕටිසම් තත්ත්වය ඇති  මිතුරන්ට සාත්තු සප්පායම් කිරීම පිළිබඳව අවුරුදු දෙකක විතර පළපුරුද්දක් තිබෙන පොඩි නංගි , අක්කගේ කතාවට එකඟ නැහැ වගේ . (මේ පාසල් වල සුළු මට්ටමේ ඔටිසම් තත්ත්වය ඇති අය වෙන් කරන්නේ නැති තරම් , සාමාන්‍ය පාසල් පන්ති කාමර තුලම , විශේෂ සහායක ගුරුවරු මඟින් ඒ දරුවන් හැකි තරම් සාමාන්‍ය සමාජය සමඟ එක් කරන්නට හොඳ උත්සාහයක් ගන්නවා. )


                මොඩ් නැති ODD බබා 

                “අපි දන්නේ නැහැ පුතේ මොකක්ද කියල හරියටම , සමහර විට මල්ලිට ටිකක් වැඩි පුර තරහ ගියාද දන්නෙත් නැහැ , මොකද එහෙමත් වෙන්න පුළුවන්නේ ? හැබැයි වැඩි ටිකක් දුර ගිය නිසා පොඩි වෙනසක් නම් ඇති කියල හිතන්න පුළුවන් . ADHD වගේ වෙන්නත් පුළුවන් , නැත්නම් ඔටිසම් වලම අවස්ථාවක් වෙන්නත් පුළුවන් . හැබැයි ODD තියෙන බබාලට නම් ඔහොම දරුණුම තත්ත්වයේ Tempur tantrum (හුඟක් තරහ ගිහින් කළබල කරන ගතිය) එනවා .“

                “ඔටිසම් ගැන හරි , A.D.H.D. ගැන පහුගිය දවසක කියල දුන්නා එතකොට මොකක්ද ODD කියන්නේ තාත්තේ ? ....“ ලොකු අක්කගෙන් ප්‍රශ්නයක් . 

                “අයියෝ ඔයා ODD කියන එකවත් දන්නේ නැත්ද ?“ නංගි , අක්කට පොඩි හිනාවක් දාගනමන් අහනවා .

                “මෙහෙමයි ODD කියල කිව්වට මේ ලෙඩේ , ඇත්තටම ලෙඩක් කියනවාට වඩා හොඳ අසාමාන්‍යතාවය කියන එක . ඉතින් මේ අසාමාන්‍යතාවයට කියන දිග නම තමයි Oppositional Defiant Disorder මේ ගැන තව විස්තර මම ගෙදර ගියාම කියන්නම්කෝ“ 

                “මේ වගේ ලෙඩ හඳුනගන්න , වර්ග කරන්න ඒතරම් ලේසි නැහැ , බොහොම ඉවසීමෙන් , සැලකිල්ලෙන් ටික කාළයක් දරුවගේ චර්යාව ගැන සෙවිල්ලෙන් ඉන්න ඕන , එහෙම ඉඳිත්දි මේ කළබලකාර බව , ඉක්මණින්ම තරහ ගිහින් කළබල කරන ගතිය වැඩි නම් , නැත්නම් මාස හයක් විතර කාළෙක ඉඳළ එහෙම වෙන වාර ගණන වැඩි නම් , හැම තිස්සෙම තරහින් වගේ , පැටලෙන්න බලාගෙනම නම් ඉන්නෙ , සතුටක් ඇත්තෙම නැහැ වගේනම් පැටියගේ මුහුණේ ටිකක් විතර අවධානය වැඩියෙන් යොමු කරන එක හොඳයි වගේ . මේව විතරක් නොවෙයි පොඩි එකා දැන් කියන කිසිම දෙයක් අහන්නේ නැහැ , කිව්වොත් ඊට විරුද්ධ දේම තමයි කරන්නේ . හැම තිස්සේම ලොකු අයත් එක්කත් එකට එක තියාගෙන එන මේ දරුව හුඟක් ඉක්මණට කළබල වෙලා පාළනයක් නැතිව ආවේගශීලීව දඟළන්න පටන් ගනීවි . ගෙදර තව සහෝදරයෙක් , සහෝදරියෙක් ඉන්නවා නම් එයාට හැම තිස්සේම අරියාදුකම් කරමින් “කරදරකාරයෙක්“ වෙන්නමයි බලන්නේ . එයාට මොනවද ඕන , ඒක ඕනමයි , අම්ම තාත්ත මොනව කීවත් රණ්ඩු වෙලා තමන්ට ඕන දේම කරගන්න හදල බැරි වුනාම එතන යුද්දයක් . “ 


                සාමාන්‍යය අසාමාන්‍යවීම

                “හැබැයි මෙහෙමයි , හුඟක් පොඩි අය අතරේ මේ ලක්ෂණ එක දෙකක් සමහර වෙලාවට එන්න පුළුවන්. ඒක සාමාන්‍යයි , හැබැයි එක දිගටම මේ ලක්ෂණ වැඩි ගණනක් ඇති වෙනවා නම් , ඒ ලක්ෂණ පෙන්වන වාර ගණන දැන් වෙනදට වඩා වැඩි නම් , සම වයසේ තවත් දරුවන් පිරිසක් එක්ක සැසඳුවොත් මේ දරුවගේ වෙනසක් පේන්න තිබෙනවා නම්  , අන්න පොඩි “රතු ඉරක් “ ගහන්න ඕන තැනක් .“

                “හුඟක් අවස්ථා වල මේ ලක්ෂණ හඳුගන්න පුළුවන් ඉස්කෝළෙ යන්න පටන් ගත්තම( අවුරුද  5-10 වගේ කාළේ)  . මොකද මෙයාලට යාළුවෝ හදාගන්න අමාරුයි , හැමෝටම සැර කරනවා , රණ්ඩු කරනවනේ , අනෙක සෙල්ලම් කරන්න ගියොත් හොරට හරි දිනන්න විතරයි ඕනේ , පැරදුනොත් ඔක්කොම ඉවරයි , ඉතින් පන්තියේ මිස්ගෙන් ගෙදරට පණිවිඩක් එන එක අහන්න දෙයක්ද? යාළුවෝ නැතිවෙන එක අහන්න දෙයක්ද ?  

                “ඇයි මේ මේ විිදියට වෙන්නේ ? , අර ජාන වල ප්‍රශ්නයක්ද තාත්තේ ? “ 
                “තවමත් හරියටම හේතුවක් හඳුනගෙන නැතත් , මොළයේ ඇතුලේ තිබෙන රසායනික වල වෙනසක් මේකට බලපාන්න පුළුවන් කියන මතයේ පර්යේෂකයෝ ඉන්නව. ඒ විතරක් නොවෙයි , ඒ දරුව ඉන්න පරිසරයේ , ගෙදර තිබෙන දරුවට කායිකව හරි මානසිකව හරි දැඩි වේදනාවක් දෙන දිගු කාළීන  ප්‍රශ්න ,අම්ම තාත්තගෙන් ලැබෙන ආදරය රැකවරණය අඩුවීම වගේම , දරුව පොඩි කාළෙ නොගැලපෙන ප්‍රමාණයට දඩුවම් දීම,  නොගැපෙන නීති රිති වලින් ගැට ගහල තියන්න හදන එකත් මේකට “විය හැකි “ අවදානමක් විදියට හඳුනගෙන තිබෙනවා. ඊට අමතරව දරුවගේ මානසික වර්ධනයේ අඩුවක් තිබේනම් එයත් මේකට තවත් හේතුවක් වෙන්න පුළුවන් .

                කළ යුතුදේ කුමක්ද ? 

                “හරි මෙහෙම ළමයෙක් හඳුනගත්තොත් , එයාට කොහොමද ප්‍රතිකාර කරන්නේ ? “

                “මේ තත්ත්වයේදි බෙහෙත් වලින් ප්‍රතිකාර කිරීමට වඩා සිද්ද වෙන්නේ දෙමාපියන්ව දැනුවත් කිරීම , දෙමාපියන්ට උපදේශනය ලබා දීම තමයි මුලින්ම කෙරෙන්නේ . 

                දරුවගේ වයසට , තත්ත්වයට ගැලපෙන ආකාරයට මේ ලක්ෂණ නැවත නැවත මතුවීම පාලනය කරගන්න විදිය මානසික වෛද්‍යවරයෙක් , නැත්නම් ළමා මනෝ වෛද්‍ය විශේෂඥයෙක් , එහෙම නැත්නම් ළමා මනෝ චිකිත්සකවරයෙක් මේ දෙමාපිය උපදේශනය කටයුත්ත ආරම්භ කරාවි . ඊට අමතරව පවුල් උපදේශනය වගේ උපදේශනමය හමුවීම් කිහිපයකටත් දෙමාපියන්ට සම්බන්ධ වෙන්නට වේවි . 

                එතැනදි දරුවගේ ගැටළු වගේම මේ දරුවත් එක්ක වැඩ කරත්දි දෙමාපියන්ට එන ගැටළුත් කතා කරල , දෙපාර්ශවයටම හොඳ සැළසුමක් හදාගන්න පුළුවන් . විශේෂයෙන්ම දෙමාපියන්ගේ ආවේග පාළනය , මානසික ආතිතය තත්ත්වය පාළනය කර ගැනීම හුඟක් වැදගත් . ඒ විතරක් නොවෙයි දරුවට , වසයට ගැලපෙන උපදෙස් , නීති රීති පද්ධතියක් හදාගන්නත් වෙනවා . ඒ ගැන දරුවට ක්‍රමයෙන් , කළබල නැතිව කියල දෙන්නත් සිදුවෙනවා . 

                විශේෂයෙන්ම දවසේ කටයුතු වල පිළීවෙල , පාසලේදී , තැනකට ගියාම කටයුතු කළ යුතු හැසිරිය යුතු ආකාරය බොහොම ආදරෙන් කියල දෙන එක දෙමාපියන්ගේ භාරදූර රාජකාරියක් මේ අවස්ථාවේ . ඒ එක්කම , මේ දෙ උපදෙස් පිළිනොගත්තොත් තමන්ට ලැබෙන “නරක ප්‍රතිපල“ ගැනත් කියල දෙන්න අවශ්‍යයි , මේ නරක ප්‍රතිපල කියන්නේ දරුවට “ගහන්න බණින්න“  කියන එක  නොවෙයි , යම් ආකාරයක දඬුවමක් . ඒක සමහර විට දරුව ආසම කරන කාටුන් එක බලන එක තාවකාළිකව තහනම් කරන එක,  එහෙම නැත්නම් එයා ආසම කරන සෙල්ලම් බඩුව යම් කාළ සීමාවකට ගන්න බැරි වෙන විදියට අයින් කරන එක , නැත්නම් .... ඔය විදියට දරුවගේ තත්ත්වය පරිසරය එක්ක ගැලපෙන නිතිරීති වගේම සීමාවන් ගැනත් ක්‍රමයෙන් දරුවව දැනුවත් කරන්න ඕන.


                හැබැයි වැදගත්ම දේ මේ කටයුත්තේද දෙමාපියන් බොහොම ඉවසීමෙන් , දරුවට කතා කරන්න කාළය දෙමින් සෙමින් කළ යුතු වැඩක් . මොකද මේ විදියට වැඩේ පාළනය කරගන්න බැරි වුනොත් වෛද්‍යවරයාට සිදුවේවි , යම් ඖෂධ වර්ගයක් මඟින් දරුවගේ මේ කළබලකාරී බව අඩු කරන්නට . නමුත් එබඳු අවස්ථා ඉතාමත් විරළයි.

                මේ ටික නොකළොත් ? ..

                අහන්න දෙයක්ද ? මේ ළමයාගේ පාසල් වැඩකටයුතු  බිඳවැටෙනවා , යාළු මිතුරු කම් බිඳ වැටෙනවා , එයා හැමෝටම කරදරකාරයෙක් බවට පත්වෙනවා . ඒ විතරක් නොවෙයි මෙ මානසික තත්ත්වය නිසා මත්ද්‍රවය වලට ඇබ්බැහි වීම වගේම සමාජ විරෝදී අපරාධකරුවෙක් බිහිවෙන්නත් පුළුවන්  තත්ත්වය දිගින් දිගටම ගියොත් , නැතොත් ප්‍රබල මානසික රෝගයක් ඇති කෙනෙක් බවට පත්වෙන්නත් පුළුවන් මේ සුළු දේ නිසා.

                දෙමාපියන්ට මෙන්න මේ ටික හුඟක් වැදගත් වේවි , 

                1.දරුවගේ මේ කළබලකාරි බව පිළිබඳ ඉවසීමෙන් සහ දැනුවත්ව කටයුතු කරන්න , 

                2.ඔබෙන් දරුවාට ලැබෙන ආදරය , උණුසුම අඩු බවක් වැටහේනම් වෙනදට වඩා දරුවත් එක්ක ආදරෙන් ඉන්න. ආදරය දෙන්න  ( තවත් දරුවෙක් පවුලට එකුවුනා නම් මේ අළුත් දරුවට වැඩි අවධානයක් යොමු වෙන නිසා, ලොකු දරුවට මේ වගේ තත්ත්වයක් තාවකාළිකව එන්න  පුළුවන් , එය ODD ම නොවනුනත් සැළකිල්ලෙන් ඉන්න එක වටිනවනේ)

                3.දරුවට සවන් දෙන්න , කළබල වෙලාවක වුනත් දරුව කියන දේට , කෑගහන දේට , හඬමින් කියන දේට සවන් දෙන්න , සමහර විට මේ හැම දේටම හේතුව එ් “සවන්දීම“ මඟින් හඳුනාගන්න පුළුවන් වේවි 

                4.දරුව කරන හොඳ වැඩකදි ප්‍රශංසාව කිරීම , සමහර විටක තෑග්ගත් දීම වගේ උපක්‍රමයකට යන්න.

                5.හැකි හැම අවස්ථාවකම දරුවා , සමාජයත් එක්ක එකතු කරන්න , මිතුරන් එක්ක එක්වන්නට දිරිමත් කරන්න. පාසලේ ගුරුවරුන් සමඟින් දරුවගේ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරන්න .

                6.හැම අවස්ථා වකදිම දරුවට උපදෙස් දීමෙදි , පැහැදිලිව , කළබල නැතිව ඒ උපදෙස දෙන්න . ඒ සමඟින්ම අදාල උපදෙස  ක්‍රියාත්මක නොකලොත් සිදුවන “අවාසිය“  ගැනත් කියල දෙන්න . 

                7.කිසිම අවස්ථාවක දෝෂාරෝපණය කිරීම , කායික දඩුවම් කිරීම කරන්න එපා . 

                8. දරුවාගේ ප්‍රගතිය ගැන හඳුනගන්න , සටහනක් තබා ගන්න , මුල් අවස්ථාව සහ දැන් තත්ත්වය පිළිබඳ අගයුමක් කරගන්න .මෙහි ප්‍රතිපල පිළිබඳව ඔබේ වෛද්‍යවරයා සමඟත් සාකච්ඡා කරමින් ඉවසීමෙන් ඉදිරියට යන්න.

                තව දුරටත් මේ ගැන දැන ගන්න කැමති ඔබට http://www.aacap.org/ වෙබ් අඩවිය මඟින් මීටත් වඩා විස්තර දැන ගන්නට පුළුවන් . 

                නමුත් මේ ඔක්කෝම විස්තර කියවුවත් , ඔබේ දරුවගේ මේ කියන ලක්ෂණ වැඩි ගණනක් , දැනට මාස හයකට වඩා තිබෙනවා නම් ක්‍රියාත්මක වෙන්න. ඔබටම මේ ක්‍රියාත්මක වීම ආරම්භ කරන්න පුළුවන් , නමුත් හැකියාවක් ඇත්නම් රජයේ රෝහලේ මානසික සෞඛ්‍ය සායනයේ හෝ පෞද්ගලික රෝහලකදි ළමා මානසික සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා , ළමා රෝග විශේෂඥවරයා හෝ ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවී උපදෙසක් ලබා ගන්න එක වැදගත් වේවි.

                එහෙම නම් අදට සමුගන්නවා , නැවත හමුවෙන පැතුමින් .
                ඔබට සුව සතුට පිරි දිනයක් .

                ADHD  ගැන ලිපියට http://www.nursinglk.com/2011/07/27-adhd.html

                ඔය ඔටිසම් ඔටිසම් කියල කිව්වට , ඒ ගැන කියවල නැත්නම් මෙන්න මේ ලිංක් එකෙන් ඒ ලිපි බලන්නත් පුළුවන් .
                http://www.nursinglk.com/search/label/Autism%20Spectrum%20Disorders


                Tempur tantrum අවස්ථාවට පත්වුනු දරුවෙක් 

                සුබ නව වසරක් වේවා !

                $
                0
                0



                උණුසුම් වැළඳගැනීමක සතුට

                $
                0
                0



                මේ ලෝකය පුරා මිනිසත්කමේ සතුට උතුරවන්නට සමත් වූ Free Hugs Campaign නම් වූ සුන්දර නිර්මාණයේ වීඩියෝවක් , විනාඩු තුනක් තුල දිව යන මේ දසුන් පෙළ ඔබේ සිතට දෙන සතුට , වැය වූ මෙගාබයිට් ගණනට වඩා වටිනාබව ඔබටම වැටහේවි .
                මේ ගැන සම්පුර්ණ කතාව මෙන්න මේ ලිංක් එකෙන් බලන්න පුළුවන් .http://www.freehugscampaign.org/

                මේවගේම සුන්දර වැඩසටහනක් තවත් දින කිහිපයකින් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදි පැවැත්වෙන බව ඔබ දන්නවා ඇති  නොදන්නවා නම් මෙන්න මේ ලිංක් එක ඔස්සේ ඒ ගැනත් තොරතුරු දැන ගන්නට දැන් ඔබට පුළුවන් .

                http://cyberfestival.blogspot.ca/2014/04/blog-post.html

                සමුගනිමි , නැවත හමුවන අපේකෂාවෙන් ! ඔබට සුව සතුට පිරි දිනයක් වේවා !

                160) වටේ නසන හිත සනසන ප්‍රීති කැසිල්ල

                $
                0
                0
                වැස්ස ළඟ අව්ව 
                කාළෙකට පස්සේ ඇඟට පොඩි රස්නයක් දැනෙන දවස් ටිකක්. මෙතුවක් දවසක් කළබල නැතිව හිටි කුරුළු කිරිල්ලියන් දැන් සිංදු කියන්න පටන් අරන් . ආසාවට දකින්න නැතිව හිටි ලේනුන් ටික ආයෙත් ගස් වලින් බිමට බැහැල “බෝල් රූම් ඩාන්ස්“  දාන්නට පටන් අරගෙන , හැංගිලා හිටපු ඉර දැන්නම් වලාකුළු අස්සෙන් සැරින් සැරේ  එබිලා බලල හිනාවක් දානවා . පොළවත් ටික ටික උණුසුම් වීගෙන එන මේ වස්සාන කාළය හැම තැනම අළුත් වෙනසක් ගෙනත් .



                “තාත්තේ , අද අපි යමුද බයික් පදින්න , “... පොඩ්ඩිගෙන් ඉල්ලීම්ක් ..ඉල්ලීම ගෙනාවේ පොඩ්ඩි උනාට මේ ඉල්ලීමේ මුල් නිර්මාණකරුවා කාමරේට වෙලා මුකුත් නොදන්න ගානට ඉන්න වග මම දන්නවා.

                “හ්ම් , අක්කටත් කියන්න ලේස්ති වෙන්න කියලා , “ 
                “එයා ලැහැස්ති වෙලා ඉවරයි , මා ජැකට් එක දාගෙන ඉන්නම් , ... තාත්තට උදව්වක් ඕනද බයික් ටික  එළියට දාගන්න “  

                “නෑ නෑ මම ඒ ටික දාගන්නම ඔයා බොරු නොකර ගිහින් ඇඳ ගන්නකෝ ..“

                කොහොම හරි අද හවස ඉතින් ඇළ අයින දිගෙ නටන්න තමා වෙන්නේ , කැමරාවත් එල්ලගත්තු මමත් නැග ගත්තා මගේ පාපැදියට ..
                ඇළ පාර දිගේ පැදලා යනවා ..

                “ඔක්කොම හරිද ? ...යමු එහෙම නම් .. මතකයිනේ ... කළබල වෙන්න එපා , දකුණු පැත්තෙන් පරිස්සමට යමු ... පොඩි නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි එනව නම් අයින් කරල නවත්තගෙන ඉන්න . ලොකූ ඉස්සර වෙලා නංගිව මැදට ....“ උපදෙස් මාලාවම දිග හැරිය ..

                දැන් මෙන්න තුන් දෙනා ඇළ පාර දිගේ සැරින් සැරේ එන හුළං කපා ගෙන ඉදිරියට යනවා . 

                “ලොකූ ඉස්සරහ වංගුවේ අයිනට කරල නවත්ත ගන්න , ලස්සන ෆෝටෝ එකක් ගතහැකි වගේ “ 
                වැස්සකට පෙරමං කියන කළු පාට වළාකුළු ටිකෙන් ටික එක් වෙන නිල් පාට අහස එක්ක අමුතු ලස්සනක් තියෙන නැතක් .

                කස කසා නැටිල්ල
                “මේක අස්සට එන්න එපා , දෙන්න ඔතන ඉන්න , “ මම කැමරාවත් අරගෙන පහලට ගියා . 
                ලස්සන තැන වුනාට පිංතූරේ ගන්න එක නං ලේසි නැහැ , මොකද බොහොම උසට හැදුනු , පන් ගස් අස්සෙන් රිංගලා යන එක “කසන වැඩක්“ .. කමක් නෑ .. බලමු ..... ගත්තා පිංතූර දෙක තුනක් ...

                “මේ තාත්තේ අන්න අර අස්සේ කුරුළු කූඩුවක් , ... ස් ස් සද්ද කරන්න එපා ..අර ..පැටවුත් එක්ක ..“ මෙන්න උඩට වෙලා ඉන්න කිව්ව අය මගේ අස්සේ ..

                කොහොම හරි පිංතූර ටික ගහගෙන උඩට ආව කියමුකෝ ..හරි සනීපයි දැන් ..කසනවා ඇඟ පුරාම ..ඔක්කොටම වඩා පොඩ්ඩිගෙ උඩ පැනිල්ල ...... හිනාව නවත්ත ගන්න බැහැ කාටත් ...

                කොහොම හරි කස කසා , කස කසා සයිකලුත් පැද්ද කියමුකෝ , ඊට පස්සේ තව සනීපයි , ඇයි දාඩිය දාල දැවිල්ල පටන් ගත්තම ..

                මේ සිදුවීමත් එක්ක මට මතක් වුනා ලියන්න තව කැසිල්ලක් ගැන , ඒ තමයි රිංග්වර්ම් කියල හඳුන්වන කැසිල්ල ගැන . කසන්න කසන්න ආස හිතෙන , ඊට පස්සේ දැවිල්ලෙන් දුක් විඳවන මේ ප්‍රීති කසානා ගැනයි අද කතාව .

                මේ කතාවෙම තව එකක් දන්නව ඇතිනේ අර උසස් පෙල පන්තියේ “ඇට සැකිල්ල“ ගැන උගන්වන්න ගිය ටීචර් නෝනට අකුරු මාරු වෙලා වෙච්ච ඇබැද්දිය , ඒ  වගේ ඇබැද්දි ගනනාවක් වගේම බොහෝ පිරිසක් විඳවන මේ කැසිල්ල , ඉකිළිය , කිහිල්ල වගේ තෙතමනය රැඳන හැංගිච්ච තැන් වල බහුලව ඇති වෙන ඒතැනින් නොනැවතී නියපොතු , යටි පතුල වගේ තැන්වලටත් පහර දෙන දිලීර රෝගයක් . තව විදියකින් කීවොත් “පුස් බැඳීමක්“ ..

                එතකොට මුලින් කීවේ රිංග්වර්ම් Rigworm කියලා ? ඒ කියන්නේ මේක පණු රෝගයක් නොවෙයිද ? 
                පොදුවේ මේ තත්ත්වයට රිංග්වර්ම කිව්වට ඇත්තටම මේක දිලීර රෝගයක් , රිංග් කියල කියන්නේ මේ “පුස් “ නිසා ඇතිවන කැසිල්ලත් එක්ක හමේ පාට වෙනස් වෙලා කැඩිලා සම  මතු පිට රවුම් හැඩයට කළාප හැදෙන නිසා . මේ තත්ත්වයට වෛද්‍යවිද්‍යාත්මකව කියන්නේ ඩර්මැටොෆයිටෝසිස් Dermatophytosis  කියලා . ලෙඩේ හදන අර පුස් වර්ගයට , කියන්නේ Dermatophytes එහෙම නැත්නම්  Tinea  කියල.

                මේ ටීනියාල අපේ ඇඟේ විවිධ තැන්වල හැදෙන්න පැතිරෙන්න පුළුවන් .  විශේෂයෙන්ම පාසල් යන වයසේ , නැත්නම දවසේ වැඩි වෙලාවක් රැකියාවේ ඉන්න වයසේ හුඟ දෙනෙක් විඳවන “ඉකිළි “ කැසිල්ල , නැත්නම් කළව ප්‍රෙද්ශයේ ඉහළ ඇතිවන කැසිල්ල නම් කරන්නේ Tinea cruris කියලා . මේ කැසිල්ල ඔළුවේ , හිස් කබලේ ආවොත් , කෙස් ගස් හරිහ පහසුවෙන් ගැලවිලා ගිහින් “තට්ට් රවුම්“ හැදෙනවා , මේ ලෙඩේදි දෙන නම තමයි Tinea capitis . ඔය විදියට කකුලේ යටිපතුලේදි pedis , නියපොතු වලදි unguium හෝ onychomycosis මුහුණෙදි පුස් බැඳිලා රවුම් හැදුනොත් faciei ..ඔන්න ඔය වගේ නම් කෑල්ලක් අර ටීනියාට එකතු කළාම දොස්තර මහත්තය මේ ලෙඩේට කියන නමම හොයා ගන්න පුළුවන් . තව වර්ග ගනනාවක් තිබුණත් මේ හැම එකක් ගැනම පොදුවේ කතා කරන්න ඕන කාරණා ටික කතා කරළ ඉමුකෝ මුලින්ම .  නැහැ මුලින්ම අපි පිංතූර ටිකක් බලල ඉමු එතාකොට වැඩේ ලේසියි .

                තට්ට රවුම් - Tinea capitis
                කකුළ පතුලෙ රවුම් Tinea pedis
                ඉකිළි රවුම් Tinea cruris
                Tinea corporis ඇඟේ , කඳේ , පිටේ හැදෙන රවුම් 
                දැන් මේ පිංතූර ටික දැක්කම මේ කියන ලෙඩේ ගැන පොඩ්ඩක් මතක් වෙන්න ඇති කියල හිතෙනවා . දන්නවද මේ පුස් කෑම හරිම ඉක්මණට බෝවෙන්න පුළුවන් ලෙඩක් , යාළුවගෙන් විතරක් නොවෙයි , ගෙදර ඉන්න පූසන් , බල්ලන් වගේ අයගෙනුත් මේ ලෙඩේ අපට එන්න පුළුවන් .

                හරි කොහොම වුනත් මේ කැසිල්ල තමන්ට තිබෙන බව දැන ගත්තොත් ඉක්මණින්ම කරන්න ඕන දේ මොකක්ද දන්නවද ? .... ඔව් ඉක්මණින්ම කසන්න තමා වෙන්නෙ , හැබැයි ඊට පස්සේ දොස්තර මහත්තයට පෙන්නල බෙහෙත් ටිකක් ගන්න ඕන , විශේෂයෙන්ම මේ වෙලාවෙ දෙන ගාන ක්‍රීම් වර්ගය හරි විදියට ආලේප කරගන්න හැටි අහගෙන නිවැරදි උපදෙස් පිළිනොපැද්දොත් , ටික කළක් යත්දි කැසිල්ල වැඩිවෙලා , තුවාල මතුවෙලා කරදර ගොඩක් එන්න පුළුවන් . 

                මොකද අපි කරන්න ඕන , මුලින්ම මේ ලෙඩෙන් පරිස්සම් වෙන්න නම් , ශාරීරික පවිත්‍රතාව හොඳින් පවත්වා ගන්න ඕන , මෙතනදි නාන ඇඟ හෝඳන එක ගැන විතරක් නොවෙයි කියන්නේ , ඊටපස්සේ හොඳට තෙත මාත්තු කරල වියළා ගන්න එක ගැනත් කියැවෙනවා. ඒ විතරද ඇඟ පිස්නා , පනාව වගේ දේවල් තවත් අයත් එක්ක බෙදා හදා ගන්නේ නැතිව පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි . මොකද මේ දිලීර වර්ගය බෝවෙන්නේ ස්පර්ශය මඟින් ප්‍රධානවම. ඊළඟ වැදගත් දේ තමන්ට මේ රෝග තත්ත්වය ඇත්නම් ඉක්මණින්ම නිසි ප්‍රතිකාර ගන්න එක. ප්‍රතිකාර ගන්න දවස් ටිකේ තමන්ගේ ඇඟළුම් , පිස්නා, ඇඳ රෙදි තවත් අය එක්ක හුවමාරු නොවෙන්න වෙනම තබා ගැනීම හුඟක් වැදගත් . ගෙදර සුරතලයට ඇති කරන සත්තු ගැනත් අවධානයෙන් ඉන්න , මේ වගේ සැකයක් ඇත්නම් ඉක්මණින් නිසි ෂැම්පු වර්ගයක් මඟින් ප්‍රතිකාරය පටන් ගන්න එක වැදගත් . 

                මේ තත්ත්වයදැයි කියල සැක නම් ලැජ්ජ නොවී දොස්තර මහත්තයට කියන්න , සමහර හිතනවා ඉකිළි වල , සමහර විට වෘෂණ ආශ්‍රිතව මේ තත්ත්වය ඇතිවුනාම “මහ භයානක සමාජ රෝගයක් , කාටවත් කියන්න බැහැනේ කියල“ .. නැහැ කළබල වෙන්න එපා මේක එහෙම තත්ත්වයක් නොවයි , මේ තවත් අළුහම් වර්ගයක් විතරයි , අනෙක ලොකු පරික්ෂණ කරන්න වෙන එකකුත් නැහැ , මොකද අපේ වෛද‍්‍යවරුන්ට මේක බලපු ගමන් කියන්න පුළුවන් , හැබැයි ඕන නම් culture එකක් කරල වැඩි දුර හොයන්නත් පුළුවන්. 

                හඳුනගත්තට පස්සේ ප්‍රතිකාරය විදියට ප්‍රතිදිලීරක ආලේපයක් anti fungal cream එකක් දේවි හිසේ නම් ගැටළුව ෂැම්පු වර්ගයකුත් එක්කම , අඩුම තරමේ සති දෙකක්  විතර දිගටම ආලේප කරන්න වෙනවා මෙය , සති හයක් විතර වෙනකම් වැඩි කරන්නත් පුළුවන් . ඊට අමතරව සමහර විට මුඛයෙන් ගන්නට ගිලින පෙති විදියට ඖෂධ දෙන්නත් පුළුවන් . මෙහෙම දුන්නොත් ඒ බෙහෙත පල - අපල ගැන හරියට අහගන්න , ඒ වගේම බෙහෙත ගන්න කාළෙතුල සමේ පාට වෙනස් වීමක් , කහ පාට ගතියක් , කෑම අප්පිරියාවක් , බඩේ අපහසුතාවක් ආවොත් සැළකිළිමත් වෙන්න , මොකද  හුඟක් ප්‍රති දිලීර පෙති වලින් අක්මාවට යම් තරමක ආපදාවක් ඇති කරන්න පුළුවන් , ඒ නිසා බෙහෙතත් එක්ක ඊට අදාල වෛද්‍ය උපදෙස් හරියට ඉල්ල ගන්න එකත් , ඒ උපදෙස් හරියටම පිළිපදින එකත් තවත් ආපදාවකට ලක්වීම වලක්වා ගන්නට මග.


                එහෙම නම් මේ දවස් වල අවිවේකය අස්සේම කැසිල්ලක් ගැන කළ කතාව මෙතැනින් අවසන් කරන්නයි හදන්නේ . 

                අවසානයේ පුංචි මතක් කිරීම් දෙකක් , මගේ මේ ලිපි වල කියැවෙන ,දඟකාරියන් දෙන්නගේ බ්ලොග් එක “පුංචි හිතට දැනෙන දේ“ , එයට අළුත් වෙබ් ලිපිනයක් ලැබිලා , ඒ www.cyberslk.net දැන් ඔබට ඔවුන් සමඟින් දොඩමළුවන්නට අළුත් ලිපිනය හරහාත් පුළුවන් , ඒ වගේම දෙන්නගේ යූටියුබ් චැනලය තුල වීඩියෝ නිර්මාණ කිහිපයකුත් දැක ගන්න පුළුවන් වේවි , ඒ https://www.youtube.com/user/TheRaindropschannelලිංක් එක ඔස්සේ ගිහින් නැතහොත් මේ පිටුවේම තිබෙන “මගේ පැටවුන්ගේ ලෝකය “ ක්ලික් කිරීමෙන් . 

                එහෙම නම් නැවතත් දවසක හමුවෙමු .

                ආ ..අමතක වෙන්න ගියේ ,සොඳුරු සුව අසපුවේ ඊළඟට කතා කළ යුතු මාතෘකාව මොකක්ද කියල කියන්නට දැන් ඔබට පුළුවන් ඒ පහත පෝරමය මඟින් . ඔබ යෝජනා කරන මාතෘකාව ගැන සාමාන්‍ය ප්‍රජාවට දැන ගත යුතු මට්ටමේ දැනුමක් සරළ සිංහලෙන් ලබා දෙන්නට මා උත්සාහ කරන්නම් . එසේ නම් ඔබේ යෝජනා අපේකෂාවෙන් සමුගනිමි , සුව සතුට පිරි දිනයක් ඔබට පතමින්.








                2014 සුදුසුකම් ලත් රැකියා ලැයිස්තුව

                $
                0
                0
                ඔබ කැනඩාවේ පදිංචියට එන්නට අපේක්ෂාවෙන් සිටින්නෙක් නම් මේ ආරංචිය ඔබට වැදගත් වේවි , 2014 වසරට අදාල සුදුසුකම් ලත් වෘත්තිය ලැයිස්තුව පසුගිය පළමු වනදා නිකුත් කළා. 

                එම අළුත් රැකියා ලැයිස්තුව තුල ඔබට අදාල රැකියාව ඇත්නම් , අළුත් ගමනක පළමු පියවර මෙය වන්නට පුළුවන් නිසා , මෙන්න මේ ලිංක් එක ඔස්සේ ඒ සියළු තොරතුරු ලබා ගන්නට පුළුවන් වේවි.


                කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසන  “වෙළෙන්දන්ගෙන්“ ආරක්ෂාවී , දැනුවත්ව , නිසි නීති අනුකූලව ඔබේ අපේකෂාව ඉටු කරගන්නට , මේ සංක්‍රමණික නීති රීති පිළිබඳව දැනුවත් විම වඩා වැදගත් නිසා , කැනඩාවට සංක්‍රමණය වීමට අදාල සියළු නීති රීති , අළුත් වෙනස්කම් ගැන www.cic.gc.ca  වෙත යොමුවී දැන ගැනීම මේ අරමුණේ සිටිනවා නම් ඔබට වැදගත්  වේවි .

                සමුගනිමි , සුව සතුට පතමින්

                ස්තුතියි ඔබ සැමට

                $
                0
                0
                පිංතූරය ගත්තේ http://blog.ishafoundation.org/ 
                අදට වසර තුනකට ඉස්සර වෙලා , වෙනත් අරමුණක් ඔස්සේ ලියන්නට පටන් ගත් “සොඳුරු සුව අසපුව“ හිමින් සැරේ  තවත් වසරකින් වියපත් වුනා , දැන් අවුරුදු තුනක් !. ... හිතේ සතුටක් මතු වෙනවා අවුරුදු තුනක් පුරා , හිමින් සැරේ යමක් ලියන්න පුළුවන් වීම ගැන . එ් වගේම මේ අවුරුදු තුන අතරේ මේ ලියු අකුරු වලින්  දහස් ගණනක් හිනස්සන්නට බැරි වුනත් , එකම එක් අයෙක් හෝ හිතේ සතුටක් ලබන්නට , හිතේ දිරියක් ලබන්නට  , ජීවිතේ යම් අවදානමක් හඳුනා ඉන් රැකෙන්නට ඇතැයි කියල සිතන්නට පුළුවන්   සළකුණු කිහිපයක් දකින්නට තිබීම ඒ සතුට තවත් වැඩි කරනවා .  ඒ වගේම මේ අකුරු වැල් නිසාම බොහොම සුන්දර මිනිසුන් පිරිසක් හඳුනාගන්නට ලැබීමත් මේ සියළු සතුටුදායක හැඟීම් තීව්‍රකරනවා.


                කෙසේ වෙතත් , සිංහල බ්ලොග් පරිශ්‍රය තුල බොහොම සුළු පිරිසක් දන්න “සොඳුරු සුව අසපුව“ ඉදිරියටත් මේ කටයුත්ත හිමින් සැරේ කරගෙන යන්නට උත්සාහ කරනවා , ලොකු වෙනස්කම් නොවුනත් , මූලිකව සෞඛ්‍යය පිළිබඳව දැනුමට යමක් එක් කරන්නටත් , ඒ අතරේ සිතේ සතුට වඩවන සුන්දර සිදුවීම් පිළිබඳත් සටහන් දකින්නට ලැබේවි , ලැබෙන විවේකයේ අගහිඟකම් නිසා නියමිත කාළ අන්තරයකට වතාවක් ලිපි පළ නොවනුත් අඩුම තරමේ මසකට එක් ලිපියක්වත් එක් කරන්නටයි උත්සාහ දරන්නේ. 

                මේ වසර තුනක කාළය පුරා , සොඳුරු සුව අසපුව සමඟින් බැඳීහුන් , තවමත් බැඳී සිටින සියළු මිතුරු මිතුරියන්ට ස්තුතිය පුදකරමින් අදට සමුගන්නේ ,  සොඳුරු සුව අසපුව තුලට ඔබේ අදහස් එක් කරන්නට අවස්ථාවක් ලබා දෙමින් . 

                ඔබ සැමට සුව සතුට පිරි දිනයක් ! ආයු බෝ වේවා ! 




                161) හැමදාමත් ලෙඩවෙන මේ සෞඛ්‍යය

                $
                0
                0
                දොස්තර මහත්වරු 
                හැමදාමත් ලෙඩ ගැනම කතා කර මේ පිටුව පොඩ්ඩක් වෙනස් මාතෘකාවක් ගැන කතා කරන්නයි අද හදන්නේ . ඒකත් හැබැයි ලෙඩක් ගැන , නිකං ලෙඩක් නොවෙයි , ඔඩු දුවපු , කුණූ කරවපු , පැතිරිලා ගඳ ගස්වන , සැරින් සැරේ වේදනාව දෙන ලෙඩක් .

                 කොහොම වුනත් මේ ලෙඩේ ගැන කතා කරත්දි ටිකක් දේශපාලනමය මත වගේම , ජාතිමාමක , දේශප්‍රේමී නොවන , ඒත් යථාර්ථයේ පවතින කරුණු කිහිපයකුත් මුසු කරන්නට වෙනවාමයි . නමුත් මේ ලියන මමත් මේ තුවාලය තුලම කළක් සිටි අයෙක් නිසා , මේ ලියැවිල්ල සර්ව සාධාරණ එකක්ම වේයැයි මම කියන්න යන්නේ නැහැ , ඒත් අද මේ ඔඩුදුවපු තුවාලයෙන් බැහැරව සිටින නිසා , තරමක් දුරට හෝ සමබරව කතා කරන්න ලොකු උත්සාහයක් දරනවා , වැරදි ඇතොත් සමාවන්න , සමා වී පමණකින් නොනැවති , වැරදුනු තැනට ඔබේ අදහසින් නිවැරදි කරමින් යම් කතා බහක් ඇති වේ  නම් එයය සතුට .


                එහෙම නම් අටුවා ටීකා නිමා කරලා මාතෘකාවට බහිමු .

                අද කතා කරන ලෙඩේ තමයි .... සිරි ලංකාවේ සෞඛ්‍ය සේවයේ ගැටළු සහ වර්ජන  , මේ නම අහපු ගමන් ඉතින් කවුරුත් චිත්තරපටියේ අඟ කොටහ කොහොමද කියල හිතාගනිවි, කමක් නැහැ , එන්න අපි ටිකක් කතා කරමු .

                මේ කතා සාගරේ ඇතුලේ මෙන්න මේ ප්‍රධාන කාරණා  ගැන , මගේ නැණ පමණ අකුරු ටිකක් කරන්නේ , කියවන ඔබ , තම තම ණැන පමණ තෙරුම් ගනිවි කියල හිතනව.


                 “මගේ පණ “ .. ඇයි මේ තරං ගනං  !

                මේක ඉතින් අහන්නත් දෙයක්ද නේ ? මේ ලෝකෙ බිහිවන හැම කෙනෙක්ගේම වඩාත්ම වටින දේ මොකක්ද කියල හිතුවොත් , ඒ මිල මුදල් රත්තරං නොවෙයි , තමන්ගේ ජීවිතේ , තමන්ගේ සෞඛ්‍යය . කෙටියෙන්ම කීවොත් වැඩියෙන්ම වටින්නෙ “මගේ පණ“ , ඉතින් මගේ පණ රැක ගන්න උදව්වෙන ළඟම සේවාව තමයි සෞඛ්‍යය , ඉතින් ආයෙත් ඕකේ වැදගත්කම ගැන කතා කරන්න ඕනද ?

                ලෙඩා මැදි කළ  දැළ 

                මේ තරම් වටින පණ රැක දෙන සෞඛ්‍යය සේවය සැකසෙන්නෙ වෘත්තීකයන් , සේවාවන් ගණනාවක එක් විමක් වෙලා , ඇත්තටම කීවොත් නිකංම එක් වෙලා නොවෙයි , එකිනෙකට බැඳිලා හරියට දැළක් වගේ . ඒ දැලේ උපදේශන සේවාවන් , සනීපාරක්ෂණ පහසුකම් සපයන  සේවාවවන් , වෛද්‍ය ඉංජිනේරු සහ වෛද්‍ය තාක්ෂණික සේවාවන් , වෛද්‍ය සේවාව , හෙද සේවාව , ඖෂධවේදී සේවාවන් , භෞත චිකිත්සක , වෘත්තීය චිකිත්සක සෙවාවන් , මේ හැම තැනකම ඉන්න සහායක සේවාවන් , ප්‍රජා සෞඛ්‍ය සේවාවන් , පරිපාලනමය සේවාවන් ...... 

                ඔය වගේ පුරුක් ගණනාවක් එකිනෙක අතරේ බැඳුනට පස්සෙ , ඔය දැලට මැදි වෙලා මැදි වෙලා ඉන්නේ කවුද ? ... අන්න එයා තමා ,සේවාව ලබන්නා , අපි දැනට රෝගියා කියල කියමු , හැබැයි මේ සේවාව ලබන්නා හැම තිස්සේම රෝගියෙක් වෙන්නේ නැහැ , සරළම උදාහරණයක් මාතෘ සායනයට යන සෞඛ්‍ය සම්පන්න ගැබිණි මවක් රෝගියෙක් නොවෙයි , ඇයි යන්නේ , විය හැකි අවදානමක් වලක්වා ගන්න , එහෙම නැත්නම් සාමාන්‍ය අගැයුමකට වෙන්න පුළුවන් .

                කෙසේ වෙතත් මෙතන වැදගත්ම දේ මේ කියන පුරුක් වලින් හැදෙන  “සෞඛ්‍යය සේවාව කියන දැල“ ඇයි මේ විදියට ලෙඩාව වට කරගෙන ඉන්නේ ? .
                .. පඩි වැඩි කරගන්න , 
                ...ඉල්ලීම් දිනා ගන්න , 
                ...රට පෙරලන්න , 
                ...ළකුණු දාගන්න , 
                ....ඡන්දේ දිනා ගන්න .
                                                    ........... නැහැ , මෙහෙම මැදි කරගෙන ඉන්න ඔහු හෝ ඇය මේ සෞඛ්‍යය සේවාවේ “වැදගත්ම පුද්ගලයා නිසා“ , වටින දේ පරිස්සම් කරගන්නනේ මැදි කරගෙන ඉන්නේ .ඔය නිසාම අද සෞඛ්‍යය සේවාව ගැන කතා කරත්දි භාවිත වන පදයක් තමයි " Patient centered Heath System"කියන අදහස . 


                කවුද... කවුද.... දැන් ලොක්කෝ ?  

                මේක මහ අණ්ඩර දෙමළ කතාවක්නේ කියල දැන් ඔබ කියාවි , ලෙඩා කොහොමද වැදගත්ම පුද්ගලයා වෙන්නේ , “ලෙඩා කියන්නේ මේකේ අන්තිමයා , එයාට බැරි නිසානේ මෙතැනට යන්නේ “ ...කියලා . ඒත් සමස්ථ සෞඛ්‍ය සේවාවම වැටුප් ගන්නෙ , ජීවත් වෙන්නේ , ඔය  යාන වාහන වල යන්නේ , කෙටියෙන්ම කීවෝත නොමැරි ජීවත්  වෙන්නේ , රෝගියාට සේවාව ලබා දීමෙන් ලැබෙන වැටුපෙන් , දීමනාවෙන් . කවද හරි දවසක රටේ සියල්ලන්ම කිසිම රෝගයක් නොහැදෙන නිරෝගීම පිරිසක් වුනොත් ඔය හැමෝටම රස්සාවල් ටික දාල යන්න වෙනවා . මොකද එදාට සෞඛ්‍ය සේවයක් ඕන නැහැ . මේ කිව්වේ රෝගියාගේ වැදගත්කම  පෙන්වන්න ගත්ත උදාහරණයක් මිසක කවදාවත් සිදුවන දෙයක් නොවෙයි . 

                දෙයියෝ දේවාලේද , ඉස්පිරිතාලෙද ? 

                මේක හරිම ප්‍රශ්නයක් නේ ?  අපේ තියෙන මනුස්සකම , භක්තිමත් බව එක්ක කියැවෙන මේ “මගේ දෙයියෝ“  ගැන පොඩ්ඩක් කතා කරමු මෙන්න මේ විදියට .



                ක්ලිනින් මහත්වරු 
                “බබා  හම්බනවෙන්න ගිහිල්ල මම මැරෙන්න ගිය වෙලාවේ මාව  බේරගත්ත මහ ඉස්පිරිතාලේ ලොකු දොස්තර මහත්තයා දෙයියෙක් ! “  ,  අවදානම් ගර්භණිත්වයකින් පස්සේ නිරෝගි දරුවෙක් බිිහි කරපු අම්ම කෙනෙක් මෙහෙම කියනවා මට ඇහුණ . හැබැයි මේ දරු පැටිය  සහ අම්ම බේර ගත්ත කර්තව්‍යයේ ඉන්නේ  එක දෙයියෙක් විතරද ? .. මෙහෙම හිතමු ? 


                ඇති කතාව

                මේ අම්ම ගැබිණී බව දැන ගත්තට පස්සේ ළඟම තියෙන පවුල් සෞඛ්‍යය සායනේට යන්න ඇති , එතැනදි පවුල් සෞඛ්‍ය නිලධාරිනියසහ පවුල් සෞඛ්‍ය හෙද සොයුරියමව පිළිබඳ තොරතුරු විමසීම් , දත්ත රැස් කිරීම් මඟින් හඳුනගන්න ඇති අැය “අවදානම් තත්ත්වයේ ඇති මවක්“ බවට . කාඩ් එකේ රතු ලේබල් එක එහෙම ගහල යොමු කරන්න ඇති ගමේ රෝහලට . 

                ඊට පස්සෙන්ම මහත්තයාත්‍රීවීල් එකක්වත් හයර් කරගෙන ඇවිත් බොහොම පරිස්සමට ගමේ ඉස්පිරිතාලෙට මේ අම්මව කැන්දගෙන යන්න ඇති . ඕපීඩි කාමරේදි ලෙඩා බලපු දොස්තර මහත්තයා  “ළමයා , මේ ලෙඩාව ට්‍රොලියෙන් එක්කරගෙන යන්න පහේ වාට්ටුවට “ කියල ලියන්න ඇති . රෝහලේ කණිෂ්ඨ සේවක මහත්තයා , අම්මව ට්‍රොලියට දාගන පරිස්සමට වාට්ටුවට එක් කරගෙන ගියා.

                 වාට්ටුවේ හෙද නිලධාරිනිය  , ලෙඩාව වාට්ටුවට අරගෙන , ලියාපදිංචි කරල , ඕන කියන ලියකියැවිලි ලේස්ති කරලා , රැධිර පීඩනේ නාඩි වේගේ , උණ , වෙනත් හදිසි අවදානම් ලක්ෂණ ඇත්ද කියල බලල දොස්තර මහත්තයට දාන්න ඇති , දොස්තර මහත්තයාඅම්මව බලල , අවදානම හඳුනගෙන, රෝග විනිශ්චය  , “අනිවාර්ය ඇඳ විවේකය“ නියම කරල , බෙහෙතක් නියම කරල යන්න ඇති . 

                ඊට පස්සේ වාට්ටුවේ හෙද නිලධාරිනිය , ඉස්පිරිතාලේ ෆාමසි එකේ ඖෂධවේදිනියගේමැදිහත් වීමෙන්  වෙලාවට හම්බවුනු බෙහෙත් වලින් අවශ්‍ය බෙහෙත , නියමිත මාත්‍රාව දීල අම්මට විවේක ගන්න දෙන්න ඇති , පැය බාගෙන බාගෙට , පැයෙන පැයට අම්මගේ ප්‍රෙෂර් බල බල සටහන් තියෙන්න මේ  හෙද නිලධාරිනියයි , රෑ වුනා , වාටුටුවේ පැය විසි හතර පුරාම රැඳෙන හෙද සේවය , මේ අම්මව තනි නොකර ඉන්නවා . 

                අම්මගේ තත්ත්වේ හොඳ නැහැ වගේ හදිසියක් ! හෙද නිලධාරිනිය  ඉස්පිරිතාලේ එක්ස්චේන්ජ් එකට කෝල් එකක්  අරන් ඩොක්ටර්ට කතා කරන්න ඇති , එක්සිචේන්ජ් එකේ අද නයිට් ෂිෆ්ට් එක කරන දුරකථන මෙහෙයුමේ මහත්තයාකොහොම හරි දොස්තර මහත්තයට පණිවිඩේ දෙන්න ඇති , අම්මට ටිකක් අමාරුයි ‍, ඇඳ පුරාම අපවිත්‍ර වෙන්න ඇති , වාට්ටුවේ ඉන්නකණ්ෂ්ඨ සේවිකාව , ඒ සියල්ල පිරිසිදු කරගන්න ඇයට උදව් වෙන්න ඇති . 

                සැරින් සැරේ ලෙඩ දෙන ස්කෑනිං මැෂිම ,  ජෛව ඉංජිනේරු එකේ මහත්තයහදල දීල ඇති.  මහ රෑම ආපු දොස්තර මහත්තයාඅර ඉංජිනේරු මහත්තරුහදපු ස්කෑනිං මැෂීමෙන් අම්මගේ “බඩ බලන්න “ ඇති , තත්ත්වේ හොඳනැති බව පැහැදිලිවම පේන්න ඇති .  “ මිස් ඉක්මනට , ඇම්බියුලන්ස් එකකට කොල් කරන්න , සෙලයින් දාන්න , ඊ සී ජී එකකුත් දාගෙන , මහ ඉස්පිරිතාලෙට යමු “ දොස්තර මහත්තය හෙද නිලධාරිනියට කියන්න ඇති ,  ඊ.සී.ජී එකේ නෝනා“පපුවේ පටිය “ ගන්න කම් මිසී “කටුවක් දාල , සේලයින් පටන් ගන්න ඇති “ , දොස්තර මහත්තයා මහ ඉස්පිරිතාලෙට කතා කරන අතරෙම වෙලාවට ඇම්බියුලන්ස් එක ආව නිසා , කම්කරු සේවක මහත්තයගේඋදව්වත් ඇති ව අම්මව ඇම්බියුලන්ස් එකට දා ගන්න ඇති , තත්තවේ හොඳ නැහැ නිසාම දොස්තර මහත්තයත් , නර්ස් නෝනත් ලෙඩා ගාව . 
                ඇම්බියුලන්ස් එකනේ රියදුරු මහත්තයා‍, නලාව පිඹගෙන   පුළුවන් තරම් ඉක්මණට  , පරිස්සමින් , ලෙඩාව මහ ඉස්පිරිතාලෙට ගෙනියන්න ඇති , 

                මහ ඉස්පිරිතාලෙ ඔපරේෂන් කාමරේ භාර හෙද සොයුරිය , “හදිසි සැත්කමට“ අවශ්‍ය සියල්ල සූදානම් කරල ඇති , ලොකු දොස්තර මහත්තය , නිර්වින්දන වෛද්‍යවරයා , ශල්‍යාගාර හෙදියන් , උපස්ථායක , සනිපාරක්ෂක කම්කරුවන්සීරුවෙන් , ලෙඩා ගෙනාව , ලොකු දොස්තර මහත්තයාඔපරේෂන් එක කරනවා , කණ්ෂ්ඨ සේවක මහත්තරුදොස්තර මහත්තයට වැඩේ හොඳට  කරගන්න ලයිට් එක සකසල  දෙනවා , හෙදිය , කැපෙන හැම පටකයයකට අනුව ඊළඟට දොස්තර මහත්තයාට ඕන කරන විෂබීජ මරපු  , උපකරණ , විශේෂීත ලෙස සූදානම් කරගෙන ඉන්නවා , 

                පැටිය ගත්ත එළියට , පැටිය අතට ගත්ත  මිසී ,  කළින් ලැබිල තිබුණ උපදේස් අනුවම පැටියව යොමු කළා “ළදරු දැඩි සාත්කර එකකේට “ , ඔපරේෂන් එක ඉවරයි , අම්මව යැව්ව වාට්ටුවට , පැටියා ළදරු දැඩි සත්කාර් , කරදරයක් නැහැ , සනීපෙට ඉන්නව , “චුට්ටක් විතර බර අඩු නිසා දවසක් දෙකක් එහේ ඉන්න අරිමු , “ දොස්තර මහත්තය අම්මට කිව්ව . 

                උදෙ පාන්දරම අම්මව බලනන්න පවුලේ කට්ටියම ආව ... අම්ම කියනවා “බබා  හම්බනවෙන්න ගිහිල්ල මම මැරෙන්න ගිය වෙලාවේ මාව  බේරගත්ත මහ ඉස්පිරිතාලේ දොස්තර මහත්තයා දෙයියෙක් ! “
                මම කියන්නේ නැහැ මේ අම්ම වැරදිකාරියක් කියල , මේ අපේ මනුස්සකම , ඒත් අද අම්මයි දරුවයි මෙහෙම ඉන්නේ එකම එක සේවාවක් නිසාද ?  , මේ “ඇති කතාවේ“ දෙව්වරු කීදෙනක් ඉන්නවාද කියල ගනන් කරල බලමුද ?  මේ අය දෙවිවරු නම් , මේ අම්ම දරුව බේර ගත්ත දේව කාර්යයේදි , සමස්ථ දේව සභාවම ඊට මැදිහත් වුනා , මෙ එක තැනක හරි අඩුවක් , ප්‍රමාදයක් , වැරදි තීරණයක් වුනා නම් , දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ එහෙනම් !


                ලොකුකම සහ වගකීම 

                මේ “ඇති කතාව “ කියන්න ඕන වුනේ අපි හුඟක් දෙනෙක් සංවේදී නොවන කාර්යභාරයක් රෝහල් පසුබිම තුල සිදුවෙන බව කියන්න . සෞඛ්‍ය සේවාව කියන පද්ධතිය හැදිල තියෙන්නේ ක්ෂේත්‍ර ගණනාවක එක්වීමකින් , සනීපාරක්ෂණ කම්කරුවාගේ ඉඳළ , විශේෂඥ වෛද්‍යවරයා දක්වා ඒ බැඳීම පැවතිය යුතු වෙනව. මේ හැම කණ්ඩායමකටම නිශ්චිත වුනු කාර්ය භාරයක් තිබෙනවා , ඒ කාර්යාවලිය ඔස්සේ ඒ හැම කෙනෙක්ම වැදගත් පුරුකක් මේ සේවාව තුල. උදාහරණයක් , සනීපාරක්ෂණ කම්කරුවන් , රෝහල , වාට්ටු වල පවිත්‍රතාව පිළිබඳ කාර්යමය වගකීමක් දරනවා , එය නිසි ලෙස ඉටු නොවුනොත් මුළු පද්ධතියම අඩාලයි , අනෙක් කෙළවර විශේෂඥ වෛද්‍යවරයා , රෝග නීර්ණය , ප්‍රතිකාර පිළිබඳ තීරණ ගැනීමේදි ඔහුට ඉහළ වගකීමක් තිබෙනවා , ඒ අතර ඉන්න අනෙක් සෑම නිලධාරියෙක්ම , තමන්ට අදාල වූ නිශ්චිත කාර්ය මාලාවක් තුල වගකීමක් දරනවා. 

                හෙද සේවාව රෝගීන්ගේ සාත්තුව , හෙද විනිශ්චයන් , සහ වාට්ටු පරිපාලනය , කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පරිපාලනමය කටයුතු කරත්දි , ඖෂධවේදීන් රෝගීන්ට ලබා දෙන ඖෂධ ලබා දීම , ඒ පිළිබඳ උපදෙස් ලබා දීම, රෝහලට අවශ්‍ය ඖෂධ , රසායනික ද්‍රව්‍ය ආදිය පිළීබඳව කටයුතු කරනවා . පවුල් සෞඛ්‍ය සේවිකාවන් මාතෘ සහ ළඳරු උපත් ආශ්‍රිතව සායන , උපදෙස් ලබා දීම වගේ ,  ඔය විදියට මේ හැම අතුරු සේවාවක්ම සෞඛ්‍ය සේවයේ වැදගත් කර්තව්‍යයක් ඉටු කරමින් තිබෙනවා. මේ එක් කණ්ඩායමක හෝ බිඳ වැටීම රෝගියාට විඳවන්නනට වන සිදුවීමක් , මේ ගැන අපේ රටේ ජනතාවට කියන්න ඕන නැති තරම් .




                අපිමයි අපිමයි දැන් ලොක්කෝ

                ලෙඩාටමයි අපි හැමෝම 
                 රෝග විනිශ්චය කිරීම , ප්‍රතිකාර තීරණය කිරීම අතින් වෛද්‍ය කණ්ඩායමේ වගකීම ඉහළයි  , 

                 රෝහලේ පැය විසි හතර පුරාම පවත්වා ගත යුතු හෙද සේවාව පරිපාලනය කිරීම , සේවා පහසුකම් අගැයුම් කිරීම වගේ කටයුත්තෙදි රෝහලේ ප්‍රධාන හෙද නිලධාරියාගේ වගකීම ඉහළයි .

                 වාට්ටුවේ රෝගීනගෙ සියළුම සෞඛ්‍යය සේවාවන් නිසි ලෙස  සම්බන්ධ කිරීම  , පැය විසි හතර පුරාම රෝගීන් සමඟ සිටිමින් ඔවුන් රැක බලාගැනීම  කියන වගකීමෙදි වාට්ටුවේ හෙදියගේ වගකීම ඉහළයි.

                  ප්‍රජාවේ ඉන්න ගර්භනී මව්වරුන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම , සෞඛ්‍ය තොරතුරු රැස් කිරීම කියන තත්ත්වයෙදි පවුල් සෞඛ්‍ය නිළධාරිනියගේ වගකීම ඉහළයි . 

                මේ විදියට ඒ ඒ සේවාවට අනුකූලවු , රෝගියාට අදාල වූ වගකීම් පවතිනවා , මේ නිසා එක සේවාවක් අනෙක් සේවාවට වඩා ඉහළයි කියන “පරපීඩක මතය“  කිසිසේත්ම පිළිගත නොහැකි තත්ත්වයක් . දොස්තර හෙදියට ලොක්කෙක් වීම හෝ හෙදිය මිඩ්වයිෆ්ට ලොක්කියෙක් වීම නොවෙයි විය යුතු දේ , විය යුතු දේ මේ හැමෝගෙම ලොකු කම් ලෙඩාගේ දිසාවට යොමු වීම ....ඕක කියන්න දෙයක්ද ? දැන් වෙන්නෙත් ඕකමනේ ? ... නැහැ නැහැ , මම මෙතන “ලොකු කම්“ කියල අදහස් කළේ , ඒ ඒ කණ්ඩායම් වල ඇති වෘත්තීය වගකීම් , දක්ෂකම් හැකියාවන් කියන එක. මොකද මේක කණ්ඩායම් වැඩක් . 

                එසේ නැතිව   වසර පහක් වෛද්‍ය විද්‍යාල දැනුමක් ලැබූ පමණින් ඔහු හෝ ඇය  “සියළු තීරණ ගත යුතු ලොක්කෙක්“ බවට පත්  කරන මානසිකත්වය ගැලපෙනවාද කියන එක ප්‍රශ්නයක් . නමුත් අද දවසේ වාට්ටුවේ බිත්තිටය ගාන පාට වර්ගය තීරණය කිරීම  , ඉඳළ අනෙක් පාර්ශවයේ උපාධීයේ කාළ සීමාව තීරණය කිරීම දක්වා වගකීම ගන්නේ / ගන්න වෙලා තිබෙන්නේ / ගන්නට පොළඹවන්නේ එකම කණ්ඩායමකට. මේ එක් එක් විෂය සඳහා විශේෂ පුහුණුවක් අධ්‍යාපනයක් ලැබූ කණ්ඩායම් හිටියත් ඔවුන්ට අදාල තිරණ ගැනීම සඳහා ඉඩක් ලැබෙනවාද කියන එක ප්‍රශ්නයක් . 

                එහෙම නම් කළ යුත්තේ කුමක්ද ? උත්තරේ සියල්ලන්ම “ලොක්කන් කිරීම“  නැත්නම් එසේ වීමට ඉඩකඩ ලබා දිීම, ඒ කිවේ අදාල වෘත්තියට අනුකූල අධ්‍යාපනය , පුහුණුව ,අත්දැකීම් අතින් ඔවුන් ඉහළ තත්ත්වයකට නැංවීම . එසේ ලොක්කන් වූ සෞඛ්‍ය සේවයකදි “රෝගියා“ ඉහළම පුද්ගලයා බවට පත්වෙන එක , යහපත් සෞඛ්‍ය සේවයක් රටට ලැබෙන අනිවාර්යයෙන්ම සිදුවන දෙයක්.

                නොකැපිය යුතු දීමනාව

                එසේ නම් කළ යුත්තේ ඒ ඒ වෘත්තීන් වල අධ්‍යාපන අවස්ථා , උපාධි මට්ටම් කප්පාදු කරන එක නොවෙයි අවුරුදු හතරේ උපාධිය , තුනක් විය යුතු බවට බල කරන එක නොවෙයි , වගකීම් වල ස්වභාවය අනුව ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම් ඉහළ නංවා ගන්නට අවස්ථාව ලබා දීම . 

                මේ කතාව හෙද උපාධි සඳහා පමණක් නොවෙයි , සමසෞඛ්‍ය , පෝෂණවේදී උපාධි , ඖෂධවේදී වැනි උපාධි මෙන්න අනෙක් චිකිත්සකීය වගකීම් දරන සියළු වෘත්තීන්ට අදාලයි . තමන්ගේ පෝෂණ ගැටළුවට අදාල පිළිතුරක් , පෝෂණය පිළිබඳවම උපාධියක් ඇති පෝෂණවේදියෙකුගෙන් ලබා ගන්නට පුළුවන් නම් එහි වටිනාකම , ඵලදායි බව වැඩියි . විය යුත්තේ මෙයයි , එසේ නැතිව සියල්ලගේම රාජකාරි කවලම් කරගෙන , තනියම කරන්නට ගොස් කැඳ හැලියක් හදාගන්නවාට වඩා. 

                ලොව පුරා සෞඛ්‍ය සේවාවන් බැලුවොත් , ඉහළ සෞඛ්‍ය දර්ශක ඇති රටවල වෛද්‍ය සේවාවට අමතරව , මෙන්න මේ වගේ  වෘත්තීන් සඳහා ඇතුළු විමේ මුලික සුදුසුකම විෂයට අදාල උපාධියක් තිබිම . අනෙක මේ බොහෝ උපාධි මුලික උපාධීයකින් නතර නොවී  Msc , PhD දක්වා ගමන් කළ හැකි පියවරයන් සහිත සංකීර්ණ විෂයයන් .  නමුත් අපේ රටේ මේ කාටවත් අවුරුදු හතරක  උපාධීයක් , Msc  උපාධියක් කරන්නට , එහෙම කෙනෙක් වෘත්තියට බඳවා ගන්නට ගියොත් , ටිකක් කරදරයි  , හොඳම උදාහරණය අද ලංකාවේ පෝෂණවේදී උපාධීධාරින්ට සිදුවී ඇති දේ .    ඒ විතරද සම සෞඛ්‍ය උපාධිධාරින්

                • හෙද සේවාව (අවුරුදු 4-6) 
                • වින්නඹු සේවාව (අවුරුදු 4-6) 
                • ඖෂධවේදී සේවාව‍ (අවුරුදු 4-5) 
                • පෝෂණවේදී (අවුරුදු 4) 
                • වෘත්තීය චිකිත්සක (අවුරුදු 4) 
                • භෞත චිකිත්සක (අවුරුදු 4) 
                • ජෛව තොරතුරු තාක්ෂණවේදය (අවුරුදු 4) 
                • (තවත් ගණනාවක් ඇත)


                අපේ රටේදි වසර පහක වෛද්‍ය විද්‍යාල උපාධියක් ලැබු පමණින්ම ඔහු හෝ ඇය මැරෙන තුරාවටම දොස්තර කෙනෙක් බවට පත්වෙනවා , ඒ හෙදියක් වසර තුනක ඩිප්ලෝමාව කළ පමණින්ම අවුරුදු හැට පහවෙනකම්ම රැකියාව කළ හැකි කෙනෙක් බවට පත්වෙනවා (ඒ කීවේ තව දුරටත් දැනුම වැඩි කරගත්තත්  යාවත්කාළීන කරගත්තත් නැතත් ) , 

                 නමුත් සෞඛ්‍ය දර්ශක ඉහළ මට්ටමේ පවතින රටවල මේ තත්ත්වය නැහැ , මේ රටවල වෛද්‍යවරයෙක් ලෙස සේවයට බැඳෙන්න අවම වශයෙන් වසර අටක , නමයක විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් හදාරන්නට වෙනවා , ලියාපදිංචි හෙදියක වන්නට නම් අවම වශයෙන් වසර හතරකහෙද උපාධිය සම්පුර්ණ කළ යුතු වෙනවා , ලියාපදිංචි වින්නඹූ නිලධාරිනියක්වන්නට වසර හතරක උපාධියක් අවශ්‍යමයි , ඖෂධවේදියෙක් විදියට රැකියාවට බැඳෙන්න වසර හතරක ඖෂධවේදි උපාධිය අනිවාර්යයි . 

                කෙටියෙන්ම කීවොත් මේ රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රෙයේ , රෝගියා සමඟ සෘජුවම ගැටෙන , තීරණ ගැනීමේ වගකීම ඉහළ හැම වෘත්තිකයෙක්ම අදාල වෘත්තිය පිළිබඳව උපාධිධාරියෙක් . සහායක සේවාවලදි අවම වශයෙන් අවුරුද්දකවත් අදාල සේවාව පිළිබඳ ඩිප්ලෝමාවක් වත් තිබිය යුුතු වෙනවා.   ඔහුගේ හෝ ඇයගේ වෘත්තීය මට්ටමේ ගත් තීරණ අභීබවා යන්නට අනෙක් කණ්ඩායම මාන බලන්නේ නැහැ. ඒ වෙනුවෙනට ඔවුන් කරන්නෙ ඊළඟ අවුරුද්දේ තමන්ගේ රස්සාව කරගෙන යන්න ඕන කරන අමතර දැනුම එකතු කරගැනීම  , නැත්නම් තමන්ගේ වෘත්තිය බලපත්‍රය අළුත් කිරීමේ විභාගයට සූදානම් වීම , මොකද ඊළඟ අවුරුද්දේ බලපත්‍රය අළුත් නොකරගත්තොත් රස්සාවට දෙවි පිහිටයි . ඒකයි තත්ත්වේ.

                ඒ වගේම අවුරුද්දේ  ඩිප්ලෝමාවක අරන් රෝහල් සේවයට ඇතුළු වන කෙනාට ,  රැකියාව කරන ගමන්ම , තමන් කැමති නම් වෛද්‍ය උපාධීය හදාරලා , වෛද්‍යවරයෙක් වෙන්නට , නැත්නම් හෙද උපාධිය හදාරලා ලියාපදිංචි හෙදියක වන්නට අවස්ථාව තිබෙනවා කිසිම කණ්ඩායමක් මේ ඉහළ යාමේ ගමන් මගට බාධා කරන්නේ නැහැ. 

                මේ තත්ත්වයන් නිසාම රෝගියාට ලැබිය යුතු උපරිම සේවාව ලැබෙන වගෙම , එසේ ලැබිය යුතු සේවාව නිසි මට්ටිමන් නොලැබුණොත් තරතිරම නොබලා අදාල නිලධාරියාට එරෙහිව නීතිය ඉදිරියට ගිහින් තමන්ට වුනු අසාධාරණයට වන්දි ලබා ගන්නත් හැකියාව තිබෙනවා. 
                මේ නීතිමය දැනුම , හැකියාව නිසාම , සේවාව ලබා දෙන වෘත්තිකයනුත් තම සේවාව , අඩුවක් නැතිව ලබා දෙන්නට පෙළඹෙනවා , මොකද ඔවුන් දන්නවා අඩුවක් වුනොත් ඩොලර් දහස් ගණනක වන්දියක් ගෙවන්නට වන බව .


                Registered Nurse සහ  Nurse Practitioner රෝගී පරික්ෂාවක  
                අපි මේ රටවල (කැනඩාව සහ අමෙරිකානු  )  හෙද සේවාව ගත්තොත් , ඇය ඉතා ඉහළ වගකීමක් ඇති කාර්යයක කරන්නේ , රෝගියා සම්බන්ධ , සියළුම මුලික පරික්ෂණ , හෙද විනිශ්චයන් ලබා දීම ,සම්පුර්ණ හෙද සාත්තුව , ඖෂධ , නික්ෂේපන ලබා දීම , උපදේශන කටයුතු , ඒ විතරක් නොවෙයි ඖෂධ වර්ග නියම කිරීම , පරික්ෂණ නියම කිරීම , වගේ තීරණ ගැනීමත් කෙරෙනවා.  ඒ සඳහා හෙද නිලධාරියාට මුලික උපාධියෙන් පසුව PhD දක්වා තම දැනුම ඉහළට ගෙන යාමට Nurse Practitionerබවට  පත්වීමට අවස්ථාව ලබා දී තිබෙනවා . මේ දවස් වල හෙදියට Prescribe කළ හැකි ඖෂධ වල ප්‍රමාණයන් තවත් වැඩි කිරීමටත් ,  රෝගීන්ගේ මුලික රෝග විනිශ්චයන් පිළිබඳ ගත හැකි තීරණ වල ස්වාභවය වැඩි කිරිමටත් කටයුතු කෙරෙමින් යනවා . හැබැයි ඒ තීරණ වලට කිසිම කෙනෙක් ස්ට්‍රයික් කරන්නටවත් , බාධා කරන්නටවත් ගියේ නැහැ , සියල්ලෝම සතුටින් තමන්ගේ කාර්යයන් කරගෙන යනවා පමණයි .



                මේව මෙහෙම වෙත්දි , අපේ රටෙත් මේ අන්තිම ඡේදය තුල කීව වගේ යහපත් මට්ටමේ සෞඛ්‍ය සේවාවක ලබා ගන්නට නම් මොනවද කරන්නට  පුළුවන් කියල බලමු . නමුත් මේ ටික කරන්නට විය යුතු ආකල්පමය වෙනස සිදුවේද කියන එකනම් ප්‍රශ්නයක් තමයි.

                • ප්‍රජාව , තම සෞඛ්‍ය කණ්ඩායම සහ ඔවුන්ගෙන් ඉටු විය යුතු  සේවාවන් පිළිබඳ දැනුවත් කිරීම , ඒ වගේම තමන්ට ලැබිය යුතු සේවාව නොලැබුණානම් ගත හැකි නීතිමය පිළිසරණ , දැනුවත් කිරීම කළ යුතුමයි . අයාලේ යන තත්ත්වයකට පත්වෙමින් තිබෙන දේ නැවතත් හරි මගට ගන්නට මේ පියවර අත්‍යවශ්‍යම බවයි මගේ හැඟිම. මේ තැනදි , සියළු සෞඛ්‍ය වෘත්තික / සහායක සේවා වලට අදාල අධ්‍යාපන සුදුසුකම් , වගකීම් , බැඳීම් සහ වැටුප්  / දීමනා පිළිබඳව තොරතුරු සාමාන්‍ය ජනතාවට පවා ලබා ගත හැකි ලෙස ප්‍රජාව/ මහජනතාව දැනුවත් කරන්න පුළුවන් නම් , වෙබ් පිටුවකට (සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියේම) එක් කරන්නට පුළුවන් නම් උපකාරයක් වේවි සියල්ලන්ටම. 


                • සැරින් සැරේ පාට වෙනස් නොකරන , රාජ්‍ය සෞඛ්‍ය ප්‍රතිපත්තියක් නිර්මාණය වීම , එය නිර්මාණය කිරීමේදි එක් සෞඛ්‍ය වෘත්තික කණ්ඩායමක අදහස් ගන්නවාට වඩා , රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීම පිළිබඳව විද්වත් මණ්ඩලයක මූලිකත්වයට  සියළු සෞඛ්‍ය වෘත්තිකයන් / සේවාවන් සහ ප්‍රජාව නියෝජනයෙන් යුත් කණ්ඩායමක අදහස් ලබා ගැනීම. 


                • රෝගියාගේ ජිවිතයේ තීරණාත්මක මැදිහත් වීම වන වෛද්‍ය නොවන අනෙක් කණ්ඩායම් , හෙද සේවාව , පවුල් සෞඛ්‍ය සේවාව , ඖෂධවේදී , අනෙකුත් චිකිත්සක සේවාවන් වලට අවම වශයෙන් වසර හතරක උපාධිය හැදරීමට අවස්ථාව ලබා දීම සහ එම උපාධි , පුහුණු , සේවාවන් ට අනුව වැටුප්තල සකසා දීම .


                • මේ සේවාවන් වලට උපාධි ලබා දීම සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල , විවෘත විශ්ව විද්‍යාල පහසුකම් ඉහළ නැංවීම සහ , ජාත්‍ය්තනරව පිිළිගත් ප්‍රමිතියේ පුද්ගලික විශ්ව විද්‍යාල පහසුකම් ආරම්භ කිරීම . 
                  • මෙහිිිදි කුමන විශ්ව විද්‍යාලයෙන් උපාධිය ගත්තත් , ජාතික මට්ටමේ එකම අවසන් විභාගයකින් සෞඛ්‍ය සේවයේ වෛද්‍ය , හෙද , ඖෂධවේදී , චිකිත්සක වැනි ඉහළ කී සේවාවන් වෙත බඳවා ගන්නවා නම් එය ගැටළුවක් වන්නේ නැහැ. මක් නිසාද එම ජාතික මට්ටමේ  පරික්ෂණය සමත් වීමට නම් අදාල පුහුණුව , දැනුම සම්පුර්ණ කර , එය සනාථ කළ යුතුමයි .  උසස් පෙළින් ඒ හතරම අරගෙන වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ගත් වෛද්‍යවරු එක්ක වගේම  , උසස් පෙළින් බී හතර අරගෙන විදේශ වෛද්‍ය විද්‍යාල වලින් වෛද්‍ය උපාධිය ගත් , විශේෂඥ වෛද්‍යවරුන් රැසක් සමඟ මගේ සේවා කාළය තුල කටයුතු කිරීමෙන් මේ නොවෙනස් පිළිබඳ වැටහීමත් ලැබුණා .


                  • මේ වෘත්තීන් සඳහා මැරෙණා තුරු ලබා දෙන වෘත්තිය බලපත්‍රයක් වෙනුවට , දැනුම යාවත්කාළීන වීම , අළුත් පුහුණු ලබා ගැනිම වැනි විභාග , පරික්ෂණ ඔස්සේ නැවත අළුත් කළ යුතු වෘත්තිය බලපත්‍ර ලබා දීමේ ක්‍රමයක් හඳුන්වා දීම , 


                  • තමන්ගේ සෞඛ්‍ය සේවකයාගෙන් (වෛද්‍යවරයා , හෙදිය , වෘත්තිය චිකිත්සක වරයා වැනි )  තමන්ට ලැබුණු සේවාවේ පල - අපල පිළීබඳව දැනුම් දිය හැකි  සහ ලැබෙන අදහස් , චෝදනා විග්‍රහකොට තීරණ ගත හැකි මධ්‍යගත ආයතනයක් පිහිටු වීමත් , එම ආයතනය වෙත එම අදහස් යොමු කිරීමට ප්‍රජාවට අවස්ථාව ලබා දීමත් . 


                  • සෞඛ්‍ය පිළිබඳ තීන්දු තීරණ ගැනීමෙදි , දේශපාලනික පක්ෂපාතී භාවයට වඩා , දේශීය සහ විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙනුත් සේවාව පිළිබඳ දැනුමක් ඇති , හැම වෘත්තික කණ්ඩායමක්ම නියෝජනය වන නියෝජිත මඩුල්ලක් පවත්වා ගැනීම .


                  • වෘත්තීය සමිති , තම වෘත්තීයේ සහ වෘත්තිකයන්ගේ තත්ත්වය ඉහළ නැංවීම වගේම , ඔවුන්ගෙන් ප්‍රජාවට ලැබෙන සේවාවේ ඵලදායි බව වැඩි කිරීමට කටයුතු කිරීම. විශේෂයෙන්ම ප්‍රජාවත් එක්ක වෘත්තිය සම්බන්ධතාවක්  පවත්වාගෙන යන ආකාරය , යහපත් සන්නිවේදනයක් පවත්වා ගන්නා ආකාරයවත් පුහුණු කිරීම , උනන්දු කිරීම.


                  • ප්‍රජා සෞඛ්‍ය සේවාව ප්‍රළුල් කිරීම , ප්‍රජා සෞඛ්‍ය හෙද සේවාව , ප්‍රජා සෞඛ්‍ය මානසික / උපදේශන සේවා වැනි වෘත්තීන් රටට හඳුන්වා දීම 


                  • අවසානය , එක වෘත්තියක අනෙක් වෘත්තියට බලපෑම් , අභීයෝග නොකර , සැමගේම ඵලදායි සේවාවන් වලට ගරු කරමින් සියළු වෘත්තියන්ට තම වෘත්තීන් , අදාල සීමාවන් තුල ගෞරවයක් සහිතව කරගෙන යාමට අවශ්‍ය පරිසරයක් ලබා දීම .

                  මේ දවස් වල ලංකාවේ පත්තර කියවත්දි දැකපු ප්‍රවෘත්ති නිසා , වගේම මමත් අවුරුදු දහතුනක් විතර ලංකාවේ සෞඛ්‍ය සේවාව තුල විවිධ වෘත්තිකයන් සමඟ වෘත්තිය සමිති සමඟ කටයුතු කළ නිසා , මේ මාතෘතාව ගැන ලියන්න හිතුනා මිසක කිසිම වෘත්තික කණ්ඩායමක් සමඟ වෛරී ආකල්පයකින් මෙය ලියැවුනා නොවෙයි මොකද පුද්ගලිකව මගේ සේවා කාළය තුල මනුස්සකම් පිරි , ඇත්තෙන්ම මහත්වරු කියන්නට පුළුවන් විිශේෂඥ වෛද්‍යවරු වගේම , උපාධි සහිත  සනීපාරක්ෂක කම්කරු මිත්‍රයන්  එක්කත් මට කටයුතු කරන්නට ලැබිල තිබෙනවා . ඒ නිසා ඒ අතරේ සියළුම වෘත්තික / සහායක කණ්ඩායම් මට හෘදයාංගමයි . ඉන් බොහොමයක් මෙ ලිපිය කියවන බවත් මම දන්නවා.  නමුත් උදහරණ ගනිත්දි හෙද සේවාව පිළිබඳ ගන්නට සිදුවුනේ එය මට වඩාත් දැනෙන නිසා . කියන්නනම් තවත් දේවල් බොහොමයි , ඒත් ඉතින් මේ කියන දේ නිසි තැන්වලට යොමු වේද කියන එක ප්‍රශ්නයක් , අඩුම තරමේ සිංහල බ්ලොග් කියවන කිහිප දෙනෙක් හරි කියවාවිනේ , ඒක සතුටක් .

                  මේ ලිපිය තුලට එක කළ යුතු අදහසක් වේනම් ඔබට අවස්ථාව තිබෙනවා ඒ වගේම යොමු කළ යුතු තැනකට යොමු කරනවා නම් ඊටත් අවස්ථාව . 

                  නැවත හමුවෙමු සුව සතුට සමඟින්!
                  Viewing all 245 articles
                  Browse latest View live